අයිසින් කාලා කේක් හොඳයි කීම..!

බැලුබැල්මට සමාජයේ තියෙන ජනප්‍රිය කතිකාව තමයි මංගල නවීනයි චම්පික සාම්ප්‍රදායිකයි කියන එක. මංගල පශ්චාත් නූතන ලිබරල් දේශපාලකයා වෙනකොට චම්පික නූතන කන්සෙවේටිව් වාදියෙක් වෙනවා. මංගල ප්‍රජාතන්ත්‍රවාදී වෙනකොට චම්පික ඒකාධිපති වෙනවා. හැබැයි අපි මේ ගොඩනැගීමේ ඇතුලට බැස්සොත් අපිට පේන්නේ වෙනස්ම දේවල්වල එකතුවක්. සමහර වෙලාවට ඒ දේවල් ගැන හිතනකොට, මිනිස්සු මෙහෙම ලේබල් කරන්නේ කොහොමද කියන ගැටලුව මතුවෙනවා. ඒ නිසා මුලින්ම මංගල සමරවීර ගැන ටිකක් ලියන්න හිතුනා. අයිසින් එක ගැන වගේම කේක් එක ගැන..

මංගල ගම්මු ඔහු 1994 වෙනසට වැඩ කරපු කොලුගැටයෙක්. (ඛේමාගේ කොලුවා) තාත්තගෙන් පුතාට ආපු දේශපාලනයක් එතන තිබුණා. සූරිය කන්ද මිනීවළ හරන්න ගිහිං ගත්ත සුප්‍රසිද්ධ ඡායාරූපය බලන්න. එහි මංගල සිටින විලාසය කියවා ගන්න. ඔව් එතනදීත් පොඩි ලිබරල් ගතියක් පේනවා..! ඊටපස්සේ චන්ද්‍රිකා ගේ ආණ්ඩුවේ මංගල සමරවිරගේ හැසිරීම ගන්න.

මාධ්‍යට රිදෙන්න ගහන සාම්ප්‍රදාය හැදුවේ මංගල. චන්ද්‍රිකා ගේ කාලේ ඔහු මාධ්‍ය සමග ගනුදෙනු කරපු විදිහ අමුතුවෙන් විස්තර කරන්න අවශ්‍ය නැහැ. ප්‍රජාතන්ත්‍ර විරෝධී විදිහට තමයි මංගල චන්ද්‍රිකා සෙවනේ හැසිරුණේ. අපි මංගල එස්.බී යුවලට ඒ දවස්වල කිව්වේ චන්ද්‍රිකාගේ අගසව් දෙනම කියලා. තිරයෙන් පිටිපස්සේ ගොඩාක් දේවල් උනේ මංගලයේ සැළැස්මට. මංගල පිටතින් පේන්න ලිබරල් මතවාදයක් නඩත්තු කරන ගමන් ඇතුලතින් ත්‍රාඩ දේශපාලනයක නිරතවුණා.

හැබැයි මිනිස්සු කියවාගත්තේ මංගලගේ සර්ව පිත්තල ලිබරල් කටුව. මේ හින්දා වෙන්න ඇති ඔහුගෙන් කාපු බීපු දාර්ශනිකයෝ කිව්වේ මංගලගේ ජීවන විලාසය ලිබරල් උනාට මංගලයේ දේශපාලනය වාමාංසික කියලා. සුදු නෙළුම, තවලම වගේ දේවල් පිටිපස්සේ මංගල හිටියා අම්මාවරුන් පිටිපස්සේ මංගල හිටියා දැන් ආපස්සට හැරිලා බලනකොට ඒවත් අර පිට කටුව ඔපවත් කරපු සැරසිලි විතරක් ද කියලා හිතෙනවා.

හොඳම උදාහරණය 1994 න් පස්සේ දීර්ඝ කාලයක් ඇමති තනතුරු දරලත් කලේ මොකද්ද කියන එක. මංගල හරිම ලිබරල් නවීන උනත් ඔහු රනිල් වික්‍රමසිංහ ගේ දේශපලනය විනාශ කරන්න භාවිතා කළේ ත්‍රාඩ නොදියුණු දේශපාලනය. රනිල් වික්‍රමසිංහට තියෙන්නේ සමනැල් ජීවිතයක් කියන එක සමාජගත කළේ මංගල කිව්වොත් ඒක තමයි ඇත්ත.

රනිල්ට බෑ කියලා ඔහු එහෙම කියන ගමන් (ළමයි හදන්න බෑ කියන දේත් ඉඟි කරමින්) ඔහු ලිංගික පීඩිතයන් වෙනුවෙන් පෙනී සිටිනවා. සමාජයට බයිස්කෝප් එකක් වෙන්නේ ඒක. අපි දන්නවා දේශපාලකයෝ ආණ්ඩු මාරුවෙන් මාරුවෙන් තමන්ගේ ඡන්ද දායකයින්ට රස්සා දීලා අමාත්‍යාංශ රාජ්‍ය ආයතන පුරෝනවා. ඒක නවීනයෙක් වෙච්ච මංගලත් හොඳටම කළා.

රාජ්‍ය මාධ්‍ය ජඩ විදිහට දේශපලන කරණය කළේ සහ එයට ආදර්ශය හැදුවේ මංගල සමරවීර. එනිසාම මංගල සමරවීර කියන ජනමාධ්‍ය අමාත්‍යවරයා ජනමාධ්‍ය සමාජයට අමතක කරන්න බැහැ. අද පිළිලයක් වගේ සමාජ දේහය වහ ගත්ත මේ ජඩ මාධ්‍ය සංස්කෘතිය හදන්න පුරෝගාමී වුණ එක පුද්ගලයෙක් තමයි මංගල සමරවීර. එහෙම මංගල අද ජඩ මාධ්‍යට විරුද්ධ සටනකට ආවාම අපිට අර මුලු ඉතිහාසයම අමතක වෙනවා.

රාවුෆ් හකීම් චන්ද්‍රිකාව අතහැරලා යන වෙලාවේ ජනතාව ඉස්සරහට එන්නේ කුමාරි කුරේ. ඒවා කොහොම උනාද කවුරුවත් දන්නේ නෑ. මිනිස්සුන්ගේ පුද්ගලික ලිංගික ජීවිතය දේශපාලන වේදිකාව උඩට ගෙනල්ලා ඒ මනුස්සයා ගහලා වට්ටලා දාන ජනප්‍රිය ක්‍රමය හැදුවෙත් මංගල සමරවීර කියලා තමයි ඔහු එක්ක දේශපාලනය කරපු අය කියන්නේ. හැබැයි සමාජයට මංගලගේ මේ අස්ශීල කෑල්ල පේන්නේ නෑ. නාමල් කුමාර වගේ ජනමාධ්‍ය හොල්මන්වල වේදිකාගමනයේ ආරම්භය තියෙන්නේ කොතනද කියලා හොයලා බලන්න වටිනවා.

1998 වයඹ ඡන්ද මංකොල්ලය ගැන කියවනකොට මංගලගේ ප්‍රජාතාන්ත්‍රික ගතිය හොඳටම පේන්න ගන්නවා. අනික් පැත්තෙන් මංගල සමරවීර මහින්ද රාජපක්ෂ ජනාධිපති පුටුවේ වාඩි කරන්න විශාල වැඩ කොටසක් කරනවා. ඔහු රාජපක්ෂලාගෙන් බිඳෙන්නේ රාජපක්ෂලාගේ රූකඩයක් වීමට තියෙන අකමැත්තට මිසක් රාජපක්ෂවරුන්ගේ දේශපාලනය නිසා නෙවෙයි.

ඒත් මංගල රාජපක්ෂලාගෙන් බිඳිලා රනිල් ළඟට එන්නේ විශාල මාධ්‍ය සංදර්ශනයක් ඇතුලේ. එතකොට මිනිස්සුන්ට පේන්නේ නටන ලිබරල් මොනරා විතරයි. රනිල් ළඟට ඇවිත් මංගල කියන්නේ මම රනිල් ට බෑ කියලා කිව්වේ රනිල් ට හොඳටම පුලුවන් බව දන්න නිසයි කියලයි. ඒකත් අපිට මාර ශෝක් වෙනවා. මංගලට කොච්චර ලිබරල් උනත් මංගලට එජාප දේශපාලනය ඔරොත්තු දෙන්නේ නැහැ.

හැබැයි ඔහු කාගෙන ඉන්නවා. ඒ ඉදීමට රනිල් වික්‍රමසිංහ ගේ ආරක්ෂාවත් එක හේතුවක්. සුප්‍රකට කුරුඳු පොලු සංග්‍රාමය උනත් රනිල්ට මංගල දීපු උපහාරයක්. මංගලගේ දේශපාලනය එහෙම තමයි. ඉන්න තැනට හොඳටම වැඩ කරනවා. හැබැයි ඒකත් රාජපක්ෂ ටයිප් තමයි. හැබැයි අපිට ඒ කෑල්ල පේන්නේ නෑ. රැස් වළල්ල ඒක ලස්සනට වහලා දානවා. ඒක නිසා මංගල සමරවීර කුල ක්‍රමය නඩත්තු කළා කීවමත් අපිට කේන්ති යනවා.

පසුගිය ජනාධිපතිවරණයේදීත් සජිත් ප්‍රේමදාස තරඟයට වීසී කළේ මංගල. ඒ ඉක්මන් තීරණය නිසා විශාල අවකාශයක් නැතිවෙලා ගියා කියලයි මට හිතෙන්නේ. එතනටත් ඔහුගේ කුලවාදී සිතීම් බලපෑවද කියන්න දන්නේ දෙයියෝ තමයි!. සජිත් එහෙම තරගයට වීසිකරලා ඊළඟ මොහොතේදී ඔහු මාතර මැතිවරණ සටනින් ඉවත් වෙනවා. ඉවත් වෙලා ජාතික ජන බලවේගයට සහාය දෙනවා. මංගලගේ හැමදාම තිබුණ දේශපාලනය මේක තමයි. හැබැයි ඔහු තමන්ගේ දේශපාලනයෙන් එළියේ කරපු වැඩ නිසා ලිබරල් නවීන වෙස් මුහුනක් එක්ක බැබලෙනවා.

1994 ඉදලා මංගල ලාංකේය දේශපාලනයේ බලවත් චරිතයක්. මුදල් ඇමතිකම විදේශ ඇමතිකම, ජනමාධ්‍ය ක්‍රීඩා වගේ පෙරළි කරන්න පුලුවන් අමාත්‍යාංශ ඔහු යටතේ තිබුණා. නමුත් අපිට ඔහු ගැන මතක බේරේ වැව සුද්ද කිරීම විතරයි!!. සංක්‍රාන්ති ලිංගිකයින්ගේ අයිතීන් ලිංගික ශ්‍රමිකයින්ගේ අයිතීන් අතුරුදන් වූවන්ගේ අයිතීන් වගේ මංගල කතා සාද පවත්වපු අංශවල ප්‍රගතියට ඔහු ඔහුගේ මේ ප්‍රබල තනතුරු දැරූ අවධීන් භාවිතා කළාද? අඩුම මංගල යහපාලන මුදල් ඇමතිකම කරන කාලේ ක්ෂුද්‍ර මූල්‍ය ණය ප්‍රශ්නය වෙනුවෙන් මොනවාද කළේ?   මංගල යුධ විරෝධියෙක් කියලා කෑගහන බොහෝදෙනෙක්ට අමතක වෙනවා ඔහු ජෙනරාල් ෆොන්සෙකාගේ මැතිවරණයට සහාය දුන් බව. මහින්ද රාජපක්ෂ ජනාධිපති පුටුවට ගේන්න විශාල දේශපාලන ගේමක් ගහපු බව.

1994 පස්සේ ලංකාව කියන රාජ්‍යයට එහි විනාශයට සෑහෙන්න වැඩකොටසක් කරපු මනුස්සයෙක් තමයි මංගල සමරවීර. රනිල් වික්‍රමසිංහ ගේ දේශපාලන වලංගුභාව විනාශ කිරීමම කෙනෙකුට ඕනෑනම් මේකට උදාහරණ විදිහට ගන්න පුලුවන්. නමුත් ඒ විනාශය ඊට සෑහෙන්න විශාලයි. එනිසා මංගල සමරවීර කියන කතා මංගල කාරණා විදිහට තවදුරටත් අරගන්නවාද කියලා අපි හිතන්න ඕනෑ. අනික් පැත්තෙන් ඔය ලිබරල් නවීන හැවට යටින් ජීවත් වෙන දේශපාලන සත්වයා අපි අඳුරගන්න ඕනෑ.

කේ. සංජීව

Social Sharing
නවතම විශේෂාංග