ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගැන අගමැතිගෙන් යෝජනා!

මේ වන විට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ගැටළු රැසක් පැන නැගී ඇත. ඒ සම්බන්ධයෙන් විවිධ වෛද්‍ය පාර්ශවයන් අදහස් පළ කර සිටිති.

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට උපදෙස් ලබා දී ඇත්තේ වෛද්‍ය සභාව ස්වාධීනව පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙසටය.

විශේෂඥ වෛද්‍යවරුන්ට අමතරව සියලුම වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 62/63 දක්වා දීර්ඝ කිරීම පිළිබඳවද අග්‍රාමාත්‍යවරයා  අවධානයට යොමු කර ඇති අතර ඒ අනුව ඉදිරියේ දී අවශ්‍ය සංශෝධන සඳහා සාකච්ඡා මාර්ගයෙන් ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇත.

අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කර ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ ඊයේ (01) අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාව අතරතුරය.

මෙහිදී එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා කළ ඉල්ලීමට අනුව සෞඛ්‍ය විෂය මධ්‍යම රජයෙන් ක්‍රියාත්මක සංවෘත සේවාවක් ලෙස නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට ඇතුළත් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා  දැනුම් දී ඇත..

සෞඛ්‍ය සේවය සහ වෛද්‍යවරුන් හමුවේ පවතින ගැටළු හා එම ගැටළු විසඳා ගැනීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරිපත් කරන යෝජනා මෙම හමුවේ දී සාකච්ඡාවට ගෙන ඇත.

රජයේ වෛද්‍ය පීඨයකින් මේ වනවිට බිහිවන වෛද්‍යවරුන්ගේ වයස් සීමාව බොහෝවිට අවුරුදු 28 හෝ 30කට ආසන්න වන බව විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පෙන්වා දීමෙන් අනතුරුව මේ පිළිබඳව වූ යෝජනා සළකා බැලූ අග්‍රාමාත්‍යතුමා රජයේ වෛද්‍ය පීඨයකින් බිහිවන වෛද්‍යවරයෙකුගේ වයස් සීමාව අවුරුදු 22 හෝ 23 දක්වා අඩුකර ගැනීමට අධ්‍යාපන අමාත්‍යංශය හා ඒකාබද්ධව වැඩපිළිවෙලක් සකස් කරන්නැයි දැනුම් දී ඇත.

මෙහිදී අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා අදහස් පළ කරමින් සාමාන්‍ය පෙළ විභාගය අගෝස්තු මාසයේදීත් උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේදීත් පවත්වන නව යෝජනාවක් අමාත්‍යමණ්ඩල අනුමැතියට ලබන සතියේ යොමුකරන බව කියා සිටියේය. ඒ අනුව දරුවන්ගේ අධ්‍යාපනයට වැඩිපුර ගතවූ මාස 9යක කාලයක් අඩුකර ගැනීමට අපේක්ෂා කරන බව හෙතම ප්‍රකාශ කර තිබේ.

-ශානි-

Social Sharing
නවතම