පොලිසිය මහමඟ පුද්ගයෙකුට පහර දෙයි. රටේ නීතිය කෝ ?

පොලිස් නිලධාරියෙකු විසින් ප්‍රධාන මාර්ගයක පුද්ගලයෙකුට බිම දමා පහර දෙන වීඩියෝවක් මේවන විට මාධ්‍ය වල මෙන්ම, සමාජ මාධ්‍ය වල සීඝ්‍රයෙන් සංස්කරණය වෙමින් පවතියි.

එම නිලධාරියා හැසිරෙන්නේ ද්වන්ද සටනකට පිවිස ඇති අයුරින් ප්‍රතිවාදියා බිම දමමිනි. මෙම නිලධාරියාගේ කෝපයට හේතු වී ඇත්තේ ඔහුගේ ප්‍රධානියාව  මොහුගේ ලොරි රථයේ ගැටීමය.

අද (29) උදෑසන මහරගම පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා වාහන හසුරවමින් මාර්ගයේ මැද සිට කහ ඉර දෙසට ගමන් කරමින් සිටියදි ( පන්නිපිටිය පාරමී කුලතුංග මාවත අසල කලර් ලයිට් ඒක ) පසු පසින් පැමිණි  මහේන්ද්‍රා වර්ගයේ කුඩා ලොරි රථයක් මොහුගේ පසු පස ගැටී ස්ථානාධිපතිවරයා අනෙක් පස මොටර් රථයක බොනට්ටුව මතට  ඇද වැටී ඇත. ඔහු වැටෙන අවස්ථාවේ ඔහුගේ පපුව  වැදී ඇති බවත් පසුව ඔහුට හුස්ම ගැනීමේ  අපහසුතාවයක් මතුව ඇති බවත් පැවසේ.

එම අවස්ථාවේදී අවට සිටි පිරිස ලොරි රියදුරුට පහර දීමට පටන් ගෙන ඇත. ඒ මොහොතේ මාර්ගයේ අනෙක් පස රාජකාරි කරමින් සිටි මහරගම පොලිසියේ රථ වාහන අංශයේ සැරයන්වරයෙකු මෙය දැක එහි සිට වේගයෙන් දිවවිත් රියදුරව බිම දමා ඔහුගේ ඇඟ මතට පනිමින් ඔහුද බිම ඇඳ වැටෙයි. ඒ අවස්ථාවේ අවට සිටි පිරිස පොලිස් සැරයන්වරයාව නැඟිටුවාගෙන පසෙකට යන අයුරු වීඩියෝවේ දැකිය හැකිය.

මෙහිදි  පොලිස් පරික්ෂකවරයාව පන්නිපිටිය පුද්ගලික රෝහලකට ඇතුලත් කළද පසුව ඔහුව කලුබෝවිල රෝහලට මාරු කර යවා ඇත.

මේ අතර පහර කෑමට ලක් වු රියදුරුද රෝහල් ගත කර මේ වන විට පොලිසියට ගෙනවිත් ඇත.

මෙසේ පහර කෑමට ලක්ව තිබුනේ හපුතලේ, පිටරත්මලේ, පහළ කොටස පදිංචි 24 හැවිරිදි තරුණයෙකි. මොහු හපුතලේ සිට දෙහිවල සුපිරි වෙළඳසැලක් වෙත එළවලු ගෙන එමින් සිටියදි මෙම සිද්ධියට මුහුණ දී ඇත.

එම අනතුරින් පසු එක්තරා උසස් පොලිස් නිලධාරියෙකු හිතවත් සියලු මාධ්‍යවේදීන්ට දුරකථන අැමතුම් ලබා දෙමින් ඉල්ලා ඇත්තේ තම නිලධාරියෙකු අතින් පහර දිමක් සිදුව ඇති බවත් මෙය මාධ්‍ය වල පළ නොකරන ලෙසත්ය. මන්ද එය මෙම නිලධාරින්ගේ  රැකියාවට ගැටලුවක් වන බැවිනි.

රිය  අනතුරක් සිදු වු අවස්ථාවේ අවට සිටින පුද්ගලයින් පහර දීමක් සිදු කෙරුනු අප සමාජයේ දැක ඇතත් මෙලෙස පොලිස් නිලධාරියෙකු හැසිරෙනු දැක නැත.

රිය අනතරක් අභියස පොලිස් නිලධාරියෙකු මෙලෙස හැසිරේවි නම් සාමාන්‍ය මහජනතාවට එය එපා යැයි කියන්නේ කෙසේද?

විශේෂයෙන්ම පොදු ස්ථානයක මෙලෙස හැසිරිම සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවට කරන අවමානයකි. අපකීර්තියකි.

මෙම පොලිස් සැරයන්වරයා පිලිබඳ සොයා බැලිමේදි හෙළි වුයේ මොහු නීතිය අකුරට ක්‍රියා කරන නිලධාරියෙකු බවත් ප්‍රදේශවාසින් සමඟ සහයෝගයෙන් කටයුතු කරන අයෙකු බවත්ය. නමුත් මෙලෙස පුද්ගලයෙකුට පහර දීමට ඔහුට අයිතියක් නැත. පොදු ස්ථානයක මෙලෙස හැසිරේවිනම් පොලිස් ස්ථානය තුල පුද්ගලයින්ට කෙසේ පහර දෙනු ඇතැයිද මෙයින් සිතා ගත හැක.

-ශානි-

Social Sharing
නවතම