එදා වැලිකඩ අද මහරද?

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 කු මරණයට පත් කළ ඒ ගැටුම සිදු වී වසර අටක් පිරුණේ පහුගිය නොවැම්බර් 09 දාටය. 2012 වසරේ නොවැම්බර් 09 දා වැලිකඩ බන්ධනාගාර රැඳවියන්ගේ කුටි පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේ ඇති වූ නොසන්සුන්තාව අවසානයේ කෙළවර වූයේ අත්තනෝමතික ලෙස රැඳවියන් 27 කු ඝාතනය වීමෙන් හා තවත් රැඳවියන් පිරිසක් තුවාල ලබමිනි.

අතීතයේ සිදු වූ මේ වැලිකඩ සංහාරය යළිත් අපට සිහිගන්නවන්ට සිදුව ඇත්තේ යළිත් එවන් සිදුවිමක් වාර්තා වෙමින් පවතින නිසාය. ඒ මහර බන්ධනාගාරයේය.

බන්ධනාගාර කොවිඩ් පොකුරු

මේ වන විට කොවිඩ් 19 පොකුරක් බන්ධනාගාර තුලද බිහි වෙමින් ඇති අතර  1091 කු දෙනෙකු ඊට ගොදුරුව ඇත. ඉන් 52 ක් බන්ධනාගාර නිලධාරින්ය. එමෙන්ම මරණ දෙකක් වාර්තා වී ඇත.  බන්ධනාගාර ආශ්‍රිතව පවතින තදබදය නිසා මෙම රෝගය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් ඇත.

සිරකරුවා, සැකකරුවා යන මේ දෙපාර්ශවයම මිනිසුන්ය. ඔවුන්ද ලෙඩරෝග වලට බිය වෙති. ඒ නිසා ඔවුන් පහුගිය දින කිහිපය පුරාම විවිධ විරෝධතා දැක්වුයේ තමන්ගේ නඩු කඩිනම් කර අසන ලෙසටය, නැතහොත් තමන්ටත් PCR පරීක්ෂණ කරන ලෙසටය. නමුත් ඉහළ නිලධාරීන් ඔවුන්ට ප්‍රතිචාර දැක් වුයේ නැත.  තවමත් අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් වහල මත නැඟි ඉල්ලා සිටින්නේ තමන්ගේ ගැටලු සාකච්ඡා කිරීමට නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා ඉල්ලමිනි.

මේ කොවිඩ් වැළඳුන රැඳවියන් අතරට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටි හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර හා පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු වූ සහරාන්ගේ බිරිඳද සිටින බව පහුගියදා මාධ්‍ය මඟින් අනාවරණය කර තිබුණි. ශානි අබේසේකර සිටියේ මහර බන්ධනාගාරයේය. මේ වන විට ඔහුව IDH රෝහලට ඇතුලත් කර ඇත.

මහර ගැටුම ආරම්භය

මහර බන්ධනාගාරයේ රැඳවියන් දහසකට අධික පිරිසක් රඳවා තබා ඇත. බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පවසන පරීදි ඉන් 180 කු කොවිඩ් ආසාදිත බව හෙළි වීමෙන් පසු ඊයේ (29) දින සවස් වරුවේ කෑම පෝලිමේදී රිමාන්ඩ් භාරයේ පසුවන සැකකරුවන් දෙසියයක් පමණ දෙනෙකු නොසන්සුන්කාරි ලෙස හැසිරී ඇත. බන්ධනාගාර නිලධාරීන් ඔවුන්ව පාලනය කිරීමට උත්සහ ගත් අවස්ථාවේ එය කැරැල්ලක් බවට පත් වී රැඳවියන්ද ඊට එක්ව සිරකුටි කඩාගෙන පලා යාමට තැත් කර ඇත. එම අවස්ථාවේ බන්ධනාගාර නිලධාරීන් ඔවුන්ගේ අවම බලය භාවිතා කර පලා යන පිරිසට වෙඩි තබා ඇත. පසුව රාගම පොලීසිය ඇතුලු පොලිස් කණ්ඩායම් 05 ක් හා  පොලිස් විශේෂ කාර්ය බලකාය ද පැමිණ අවම බලය භාවිතා කර තත්ත්වය පාලනය කිරීමට පියවර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නිතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

අසල්වැසියන් පවසන්නේ එක දිගට පැය ගණනාවක් රතිඤ්ඤා පිපිරෙන හඬක් ඇසුණු බවත් පසුව එය රතිඤ්ඤා නොව වෙඩි හඬක් බව පසුව තහවුරු වූ බවත්ය.

මෙහිදී රැඳවියන් එක් බන්ධනාගාර නිලධාරියෙකු හා හෙද නිලධාරියෙකු ග්‍රහණයට ගත් බවද, බන්ධනාගාර නිලධාරින් පවසා ඇත. මෙහිදී බන්ධනාගාර දේපල වලටද විශාල හානියක් සිදුව ඇති අතර මහර බන්ධනාගාර අධිකාරිවරයාගේ කාර්යාලයද ගිනිබත් වී ඇත. බන්ධනාගාරයේ ඇති වූ මෙම ගින්න මැඩ පැවැත් වීමටද ගිනි නිවන රථ 05 ක් යොදාගෙන ඇත.

මෙම සිද්ධියේදී රැඳවියන් 08 දෙනෙකු ඝාතනයට ලක්ව ඇති අතර 35 කු තුවාල ලබා රෝහල් ගත කර ඇත. ඒ අතර බන්ධනාගාර නිලධාරීන් 02 කුත් සිටියි.

තවමත් උණුසුම්

අද (30) උදෑසන වන විටද බන්ධනාගාරයේ යම් යම් සිදුවීම් සිදු වෙන බවට වාර්තා වන බවත් එම තත්ත්වය මැඩලීමට පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය පියවර ගනිමින් සිටිනා බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද උදෑසන නිකුත් කළ හඬ පටයෙන් ප්‍රකාශ කර තිබුණි.

බෝගම්බර වෙඩි තැබීම

මේ කොවිඩ් ගැටලුව නිසා බෝගම්බර බන්ධනාගාරයේ සිටින රැඳවියන් පිරිසක් පහුගීය දිනෙක පලා යාමට උත්සහ කළ අවස්ථාවේ එහිදීද බන්ධනාගාර නිලධාරීන් කළ වෙඩි තැබීමකින් රැඳවියෙකු ඝාතනය විය. ඒ නොවැම්බර් 18 දාය.

ජාත්‍යන්තර අවධානය

2012 වැලිකඩ ගැටුම සිදුවන අවස්ථාවේ රටේ ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ මහතාය. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාය. එම වැලිකඩ ගැටුම නිසා එවකට අප රටට  ජත්‍යන්තරයෙන් ලැබුණේ කලු පැල්ලමකි.

2020 මහර ගැටුම සිදුවන අවස්ථාවේ රටේ ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ මහතාය. මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයාය. එමෙන්ම ජාත්‍යන්තර මානව හිමිකම් දිනය යෙදී ඇත්තේද තවත් දින 10 කිනි. ඒ දෙසැම්බර් 10 වෙනිදාය. සිරකරුවාටද, සැකකරුවාටද ජීවත් වීමේ අයිතිය ඇත, ලෙඩරෝග වලින් ආරක්ෂා විමේ අයිතිය ඇත.  මරණ දඬුවම හිමි වුවන් තවමත් ජීවත්ව සිටියදී මරණ දඬුවම හිමි නොවුවන් ඝාතනය වෙමින් ඇත්තේය. මෙය නිසා  යළිඳු වරක් අප ජාත්‍යන්තරයේ අප්‍රසාදයට ලක් විය හැකිය. අවම බලය පාවිච්චි කිරීම යනු පුද්ගලයෙකුගේ ජිවිතය උදුරා ගැනිමක්ද? යන්න මෙහිදී ආරක්ෂක අංශ වලින් විමසිය යුතුව ඇත.

Social Sharing
නවතම