අපි ලොකුවට උඩ දැම්මට පරම පවිත්‍ර මාර සිංහලා තමයි අපි කියලා, ඒක එහෙම නැහැ! – නිශ්ශංක විජේමාන්න

පහුගිය දවසක මහියංගනයට යන්න ලැබුණා, දවස් දෙකක් නිදහසේ සරන්න. එහෙම ඉන්න ඇසිල්ලක හිතුනා නිශ්ශංක විජේමාන්න සහ දබානේ ගුණවර්ධන හමුවෙන්න තියෙයි නම් කියලා. මුලින්ම කතා කළේ නිශ්ශංකට. නිමාඩු දවසක් වුණත් මනුස්සයා ඈත දුෂ්කර කැලෑ ගමක පාසලක රාජකාරියක් දාගෙන. පාසල එන මග කියලා කිව්වේ, ඒ පාසලට දූරකථනය වැඩ කරන්නේ නැහැ කියලා. කොහොම හරි පාසල හොයාගෙන යනවා කියලා හිත හිතා ඉන්නකොට මනුස්සයා අපි නවාතැන් ගත් නිවසට යාබද නිවසට ආවා. ඒ අර පාසලට යමින් ගමන්. දෙයියෝ දැක්කා වගේ.

මල්ලි මට ඉක්මනට යන්න ඕනෑ විනාඩි (10)යි දෙන්න පුලුවන්. එහෙම කියලා වාඩිවුණ නිශ්ශංක විජේමාන්න පැය බාගයක සාමිචියකින් පස්සේ තමයි නැඟිට්ටේ. නිශ්ශංක විජේමාන්නගේ සාහිත්‍ය අස්සේ හමුවෙන කෙටිකතා පොත් අතරේ මම කැමතිම පොත “තිත්ත සීනී”, ඉතිං අපි කයිය එතනින් පටන් ගත්තා.

“තිත්ත සීනි” කෙටිකතා සංග්‍රහය (1993) බිහි වෙනකොට එහි තිබෙන බොහෝ කතා ඊටත් එහා අවුරුදු 8කට 10කට කළින් ලියවුණ දේවල්. ඉතාම තරුණ වයසෙදි අවුරුදු 20දි 21දි ලියවුණ කතා ඒවා. ඒ කාලේ මම වඩුවෙක් විදිහට වියානී කියන ඉතාලි කොම්පැනියේ වැඩ කරනවා, මිනිපේ දකුණු ඉවුර අන්තර් නිම්න යෝජනා ක්‍රමය. ගෙදර ආර්ථික ප්‍රශ්න නිසා මට ඉස්කෝලේ යෑමේ අවස්ථාව අහිමි වෙනවා.

අපේ පවුල විශාල පවුලක්. දරුවෝ හත් දෙනෙක්. තාත්තගේ පඩිය රුපියල් 150යි. අම්මා මහංසි වෙලා කුඹුරක් වගාකරගත්තා. ඒ කුඹුර නොතිබෙන්න අපි ගොඩ එන්නේ නැහැ. එතකොට මමත් නිමාඩු කාලෙට ඇවිත් කුඹුරු කොටනවා. මේක නිසා අපිට හාල් ටික ලැබුණා. මීට අමතරව අම්මා එළවළු ටිකත් ගෙදර හදාගත්තා. දවසක් මේ තිබුණ කුඹුරයි, ඉඩම් ටික සේරම ආණ්ඩුව පවරා ගන්නවා කුමන්ත්‍රනයක් නිසා.

ඒ සිද්ධිය වෙන්නේ මම උසස් පෙළ කරන කාලේ (1981.) යූඑන්පී ආණ්ඩුවේ මහියංගනය මාපාකඩ වැව කියන ගමේ හිටපු ලොක්කෝ අපිව එළවලා, ඒ ඉඩම් අල්ලගන්නවා. අදටත් ඒ අය තමයි ඒ ඉඩම්වල ඉන්නේ. එදා අපිව නන්නත්තාර කරලා ම දැම්මා.

මම උසස් පෙළට ඉගනගත්තේ විද්‍යාව අංශයෙන්. ඉතිං මම දාලා එනවා. ඊට පස්සේ කොම්පැනියේ වැඩ කරලා ගිහිං විභාගය ලියනවා. ලිව්වට ඉතිං විභාගය පාස් ද කියලා බලන්නවත් යන්නේ නැහැ. මගේ මෙඩිකල් කොලේජ් හීනය එහෙම්මම නැවතිලා යනවා. මම ඇත්තටම රිසාල්ට් එක බලන්නවත් යන්නේ නැහැ.

අවුරුදු 10 කට විතර පස්සේ තමයි මම දන්නේ මම විශ්ව විද්‍යාලයට සමත් කියලා.  ඔය කාලය අතරතුර තමයි නිශ්ශංක කියන මේ කොම්පැනියේ වැඩකරන අවුරුදු 17ක විතර ළමයා මිනිහෙක් නැත්තං වැඩිහිටියෙක් වෙන්නේ. මොකද එතන හිටපු හැවෝම මට වඩා වයස සහ පරිනත අය. ඒ විතරක් නෙවෙයි සල්ලාලයෝ, තක්කඩියෝ, මදාවියෝ බේබද්දෝ එක්ක තමයි මම ජීවත් වුණේ, ඉතිං මම ඔවුන්ගෙන් ඉගනගන්නවා. ඒ විතරක් නෙවෙයි ගෙදර ඇවිත් ලියනවා. ඒ කතා තමයි අවුරුදු 8කට 10කට පස්සේ “තිත්ත සීනි” කියලා පොතක් වෙන්නේ.

ඒ කාලේ වෙනකොට චිත්‍ර අඳින්න පුලුවන් කියලා දැනගෙන හිටියද?

ඔව්.. ඔව් පුදුම දේ කියන්නේ ගෙදර සියලු දෙනාට චිත්‍ර අඳින්න පුලුවන්. අම්මටත් ඒ හැකියාව තියෙන්න ඇති මොකද අම්මා කිරි මැටි ගෙන්නල්ලා පොඩි මැටි භාණ්ඩ හදනවා ඒ කාලේ. කුඹුරේ තියෙන කිරි මැටි ගෙන්නල්ලා අපිට ලස්සන ලස්සන රූප හදලා පෙන්නනවා. අම්මට අකුරු බැහැ. ඒකට එයා මොකද්දෝ පුරාණ මතකයකින් වැඩ කළා. එයා නුවරඑළිය පැත්තේ බංගලාවක පොඩි කාලේ ඉදලා තියෙනවා. ඒ නිසා එයා ලස්සනට කැරොල් ගීත එහෙම කියනවා.

වෙල්ලස්ස, සාහිත්‍යට බලපෑවේ කොහොමද?

වෙල්ලස්ස කියන එක සාහිත්‍යට විතරක් නෙවෙයි ජීවිතයටම බලපෑවා. (1980) ගනන් වල පැල්වත්ත ව්‍යාපාරයට ඉඩම් පවරාගන්න වෙලාවේ ඒ අරගලයේ අපි හිටියා. රත්නශ්‍රී අයියත් වාඩිවෙනවා එතන. එයා නැඟිටලා ගිහිං “බිම්බරක් සෙනඟ” සින්දුව ලියන වෙලාවේ මම නැඟිටලා ඇවිත් “තිත්ත සීනි” ලියනවා. රත්නශ්‍රී අයියගේ ගීතයේ තිබුණ ආවේගශීලී ගතිය, ඒ රැඩිකල් කමට වඩා මට අහුවෙන්නේ වෙනත් ප්‍රදේශයක්.

තිත්ත සීනි තමයි මම මගේ ජීවිතේ එක දවසකින් කපන්නේ කොටන්නේ නැතුව ලියපු එකම කතාව. වාඩි උන පාර ලිව්වා, නමුත් අනික් කතා අඩුම හතර පාරක්වත් ලියලා තියෙනවා. මාස ගානක් තියාගෙන නැවත නැවත බලමින් හදලා තියෙනවා. තිත්ත සීනි නම් පැය හතරක් විතර යනකොට ලියලා ඉවර කළා.

ඔබ නවකතා සහ කෙටිකතා රචකයෙක් විදිහට මේ වෙනකොට සෑහෙන්න සාර්ථකයි. ඔබට රට පුරාම විශාල පාඨක ප්‍රජාවක් සිටිනවා. ඔබගේ පොත් දහස් ගණනින් විකිනෙනවා. නමුත් කොළඹ එක්ක ඔබට විශාල ගනුදෙනුවක් නැහැ.

අපි සංක්‍රමනිකයෝ. මම ඉපදෙන්නේ මහියංගනයේ. මගේ තාත්තා කොළඹ. අපේ තාත්තාගේ නෑයෝ සේරම ඒ කාලේ හිටියේ කොළඹ. තාත්තා වාරිමාර්ග වැඩ වලට තමයි මහියංගනයට ආවේ. පස්සේ ඔහු කොළඹ ගියේ නැහැ. මහියංගනයේ නැවතුනා. කොළඹ කිව්වාම මට තරුණ කාලේ ඉදලා හරිම ආසාද්මිකතාවයක් තමයි තිබුණේ.

කොළඹ ගිහිං ආවාම බඩ යනවා. ඔලුව කකියනවා. හරි පිස්සු වැඩ ගොඩක්. පස්සේ තමයි මම දන්නේ මේක ශාරීරික අසාද්මිකතාවයක් නෙවෙයි මානසික අසාද්මිකතාවයක් කියලා. ඒ නිසා මම තරුණ කාලේ ඉදලාම කොළඹට ආසා මනුස්සයෙක් නෙවෙයි. ඒක තාමත් එහෙමයි. දැන්නම් කොළඹ කියලා කිසි දෙයක් නැහැ, අන්තර්ජාලයට ගියාම හැමදෙයක්ම එතන තියෙනවා.

පොඩි කාලේ ඉදලා මගේ ආසාවක් තමයි පොත් එකතු කරන එක. කොළඹ නොහිටියට මම ඒක කළා. දැන් ලොකු පුස්තකාලයක් මා සතුයි. මේවෙනකොට ඒක බැහැර දෙන පුස්තකාලයක් බවට පත් වෙලා තිබෙනවා. ඉතිං කොළඹ හිටියේ නැහැ කියලා හෝ කොළඹ සමග ලොකු සම්බන්ධයක් තිබුනේ නැහැ කියලා හෝ පාඩුවක් වුණේ නැහැ. ඕනෑම ශාස්ත්‍රීය ගවේශනයක් මෙහේ ඉදලා කරන්න පුලුවන්.

ඒකට කොළඹ යන්න ඕනෑ කියලා එකක් නැහැ. උදාහරණයකට මගේ අලුත්ම පොත කඳඅරණී ලියන්න මම අවුරුදු දෙකක් රීසර්ච් කළා. ක්ෂේත්‍ර වැඩබිම විදිහට මම දබානට, පොල්ලෙබැද්දට, දානිගලට යනවා එනවා. කතාව ලියාගෙන යනකොට හිර උනානම මම බයිසිකලේ නැඟලා දබානට යනවා ගිහිං ගුණේ (දබානේ ගුණවර්ධන) හම්බ වෙලා කතා කරලා එනවා.

ඉසබෙල් අයියන්දේ, ඇයගේ මුහුද යට දිවයින සඳහා විශාල රීසර්ච් එකක් කළා කියලා කියනවා. ඇත්තටම නවකතාවක් සඳහා එහෙම රීසර්ච් එකක් අවශ්‍යද?

නවකතාවක් කියලා කියන්නේ කාගේ හෝ ලේඛකයෙකුගේ ප්‍රකාශනයක් නේ. එතකොට ඒකට රීසර්ච් එකක් කරන්නම ඕනෑ කියලා දෙයක් නෑ. කෙනෙක්ගේ සිත ඇතුලේ සම්පූර්ණ කතා ශරීරයම ගොඩනැඟිලා තියෙන්න පුලුවන්.  නමුත් මම ගත්තොත් මම ඇවිත් එහෙම මොළයක් තියෙන මනුස්සයෙක් නෙවෙයි. කල්පනා ශක්තිය අඩුයි. ඔලුවේ ඔක්කොම තියාගෙන ඉන්න බැහැ. එතකොට මම කරන්නේ ඒවා පොත්වල ගබඩා කරලා ආකෘති හදලා තියලා තමයි වැඩේ පටන් ගන්නේ.

ලෝකයේත් එහෙම රීසර්ච් කර කර නවකතා ලියනවා අඩුයි. නමුත් රීසර්ච් එකක වාසියක් තිබෙනවා. එකක් තමයි කාරණා පිළිබඳව නිරවුල් අවබෝධය. මේ මොහොතේ තිබෙන සාහිත්‍යමය කාරණාව, අපිට සීනි බෝලයක් ලියලා අතපිහිදාගන්න බෑ. අපි සාහිත්‍ය සහ දේශපාලනය ප්‍රකාශනය හරහා බරපතල සංවාදයකට යන්න ඕනෑ. එතනදි නිකම්ම රොමෑන්ටික් වෙලා හරියන්නේ නැහැ. එතකොට කෘතිය අතිශ්‍යින්ම යථාවට ලං වෙන්න ඕනෑ, මැජිකල් රියලිසම් හරි මොන ක්‍රමයෙන් ලිව්වත් ඒක බැරෑරුම් වෙන්න ඕනෑ. එතනදී මට හිතෙන්නේ රීසර්ච් කියන දේ යම් ප්‍රමානයකට වැදගත්.

අනෙක් පැත්තෙන් මේ රීසර්ච් කියන එක ගැන මෙහෙම කතා කරන්නත් පුලුවන්, මම මේ වෙනකොට කෙටිකතා සංග්‍රහ හතක් විතර ලියලා තියෙනවා. ඒ හැම එකකම මගේ පර්යේෂණ කියන යක්ෂයා තමයි ඉන්නේ. පළමු කෙටි කතා පොත ගත්තොත් ඒකේ එක කතාවක විතරයි අධි යථාර්තවාදය මත පදනම් වුණ කතාවක් විදිහට  “දෙවියෙක් ගේ සැන්දෑව” කියන කතාව තිබුණේ.

සමහර කතාවක් ලියන්න ගියාම මේ තියෙන කතා රටාවෙන් ඒක ලියන්න බැහැ. හිර වෙනවා. කාලය සහ අවකාශය එක්ක සම්බන්ධතා හදන්න බැහැ. එතකොට මම වෙන ශෛලීන්වලට යනවා, එහෙම යනකොට ඒක වරදිනවා. එතකොට ආකෘතීන් බහුල වෙනවා. එහෙම වුණාම සමහර වෙලාවට ආකෘතිය ෆේල්. එහෙම උනාම ආකෘතිය පේනවා අන්තර්ගතය පේන්නේ නැහැ. නැත්තං ආකෘතිය සහ අන්තර්ගතය අතර බ්ලයින්ඩ් වෝල් එකක් මමම කතාව අස්සේ නිර්මානය කරනකොට සමහර වෙලාවට පාඨකයාට කතාව තේරෙන්නේ නැහැ. එතකොට කතාව ෆේල්. එහෙම කතා බොහෝමයක් මගේ කතා ගොන්නේ තිබෙනවා. ජීවිත කාලය ඇතුලේ කතා 500ක් ලීවීම තමයි මගේ ඉලක්කය. ඒ ඉලක්කයට යන්න මේ ජීවිත කාලේ අස්සේ පුලුවන් වෙයි ද සැකයි ඇත්තටම. ඒ නිසා දෝ මම ලියපු ගොඩක් කතා දුර්වලයි. දැන් කියවනකොට සමහර වෙලාවට දුකයි.

“මල් සූටික්කා” ගත්තොත් ඒකත් ඇත්තටම පර්යේෂණයක්. ඒකෙදි මම කළේ, ටිකක් සරළ ශෛලියක් සොයාගන්න උත්සාහ කරන එක. සාමාන්‍ය පාඨකයා මේක සමග කොහොමද ගනුදෙනු කරන්නේ කියන දේ තමයි මම හිතුවේ. දැක්මේ පවා සංක්‍රීර්ණතා අවම කළා. අපි මෙහෙම හිතමු දහය පන්තියේ ළමයෙකුගෙන් ඇහුවොත් ප්‍රභාසංස්ලේෂණය කියන්නේ මොකද්ද කියලා, උත්තරය හරි සරළයි.

හැබැයි මේ ප්‍රශ්නයම අපි උසස් පෙළ බොට්නි කරන ළමයෙකුගෙන් ඇහුවොත් උත්තරය කොහොමට හිටිද? ඒක හරිම සංකීර්ණ කතාවක්. එතකොට මම උත්සාහ කළේ අර සාමාන්‍ය පෙළදි කරන වැඩේ කරන්න. ඒ විදිහට සංක්‍රීර්ණ ජීවිතේ සරළ විදිහට කියන්න පුලුවන් භාෂා විලාසිතාවක් මම තවමත් සොයනවා. සමත් වෙන්නත් පුලුවන්, අසමත් වෙන්නත් පුලුවන්, නමුත් මගේ ප්‍රයත්නය දිගටම සිද්ධ වෙනවා.

හඳ පළුව තනි තරුව කියන නවකතාවත් ඔවැනි ප්‍රයත්නයක් නේද ඇත්තටම..

හඳ පළුව තනි තරුව කියන්නේ මගේ ට්‍රෝමා එක නැතිනම් මගේ වේදනාව. මගේ තුවාලය. මම ඉගන ගත්ත පස්සර සෙන්ට්‍රල් එක කියලා කියන්නේ බහු වාර්ගික සහ බහු ආගමික පසුබිමක් තිබුණ පාසලක්. සිංහල අය, ක්‍රිස්තියානි අය, දෙමළ අය, මුස්ලිම් අය ඔක්කෝම එකතුවුණ පන්තියක් මගේ පන්තිය. මේ පොත මම පුදන්නේ ඒ බහු වාර්ගික පන්තියට. කුඩා කාලයේදී අවුරුදු (12) හෝ (13) දී අපිට ජනවාර්ගිකත්වයක් නැහැ. මේකා දෙමළ මේකා මුස්ලිම් එහෙම නැහැ. ගහ ගන්නකොට තෝ තම්බියා කියලා එහෙම බනිනවා.

ඒක වෙනම දෙයක්. ඒ බනින්නේ අරූ කෝප කරන්න මිසක් වාර්ගික අදහසක් ඒක අස්සේ නැහැ. ඌත් බනිනවා, සහා ගහනවා කියලා නමුත් හරිම මිත්‍රශීලීයි. මම හොඳ ෆුට්බෝල් ක්‍රීඩකයෙක්. එතකොට ගොඩාක් ෆුට් බෝල් ගැහුවේ මුස්ලිම් අය, අවුරුදු (16) දී මම වුර්තීය ෆුට් බෝල් ක්‍රීඩකයෙක් ඇත්තටම. පස්සර සෙන්ටර් එකේ ඉදලා ගෝල්ඩන් ඊගල් ක්ලබ් එකට සෙල්ලම් කළා ඒ කාලේ මම. එතකොට ඒ අස්සේ එහෙම ප්‍රශ්න තිබුනේ නැහැ. නමුත් මහියංගනයට එනකොට එහෙම නැහැ.

එතන තිබුණේ සිංහල සමාජයක්. මහියංගනයේ එක කුඩා නගරයක් තිබුණා පගරගම්මන කියලා, ඒක මුස්ලිම් ගමක්. එතනදී වුණත් එයාලා සහ අපි අතර එහෙම ලොකු කේස් එකක් නැහැ. ඔවුන් පොඩි ශාරීරික අනන්‍යතාවයක් පෙන්නුවා. රැවුල දිගට වැව්වා. කුර්තා ඇන්දා. නමුත් අපි දෙගොල්ලොම කුඹුරට බැස්සාම එකම වගේ තමයි. ඒ අතරේ එකට බොනකන ඒවා, ආවාහ විවාහ දෙපාර්ශවය අතර සිද්ධ වුණා. ඒ අතරේ දී තමයි මේ ජාතිවාදය කියන එක ගොඩනැඟෙන්නේ. (1974) අවුරුද්දේ ඔය කුඩා නගරයට සිංහල මිනිස්සු පහර දෙනවා. ඒ ගහන්නෙත් බලවතුන්ගේ උවමනාවට. බුදු පිළිමයක් වඩම්මගෙන යනකොට ගල් ගැහුවා කියලා තමයි ඒ වෙලාවේ මේ කුඩා නගරයට පහර දෙන්නේ. ඊට පස්සේ මුලු නගරයම කොල්ලකනවා. නමුත් ඒ වෙලාවේ සිංහල මිනිස්සු යම් කොටසක් මැදිහත් වෙලා ඒක සමාදාන කරනවා. හැබැයි එක දෙයක් වෙනවා මෙතනදී, ඒ මොකද්ද? මේ වෙනකොට මේ මුස්ලිම් ජන ප්‍රජාව අල්ලා දෙවියන්ට අමතරව “අප්පුහාමි දෙවියෝ” කියලා ප්‍රාදේශීය සිංහල දෙවි කෙනෙකුත් අදහමින් ඉන්නවා, මේ සිද්ධිය සමග ඔවුන් මේ කියන සිංහල දෙවියාව අතාරිනවා.

ඉතාම අඩු ආයු කාලයකින් නැතිවෙන දේවතාවා තමයි අප්පුහාමි දෙයියෝ. මුස්ලිම්වරුන්ගේ හදවතේ හිටපු දේවතාවා ඔවුන්ගේ පිහිටට එන්නේ නැහැ. මේක ඇත්තටම ඛේදවාචකයක්. ඒක තමයි අපේ හදවතේ තුවාලය. ඒක තමයි මම “හඳ පළුව තනි තරුව” හරහා පෙන්වන්නේ.

වැදි ජනතාව සහ වැදි උරුමය ගැන තමයි “කඳඅරණී” කියන අලුත්ම පොත, මේක විශාල පර්යේෂණයක ප්‍රථිපලයක් නේද?

ඒක දිග කතාවක්, මම ඒක මෙහෙම පටන් ගන්නම්. මම සාමාන්‍ය පෙළ වෙනකම් පස්සර සෙන්ට්‍රල් ගිහිං, ඊට පස්සේ සයන්ස් කරන්න බණ්ඩාරවෙල සෙන්ට්‍රල් ගිහිං, ඊට පස්සේ විද්‍යා ගුරුවරයෙක් වශයෙන් ඉදලා, ට්‍රේනින් කොලේජ් ගිහිං චිත්‍ර ගුරුවරයෙක් වෙනවනේ. චිත්‍ර ගුරුවරයෙක් වෙලා ඇවිත් බලනකොට ලංකාවේ සවුන්දය– විශ්ව විද්‍යාලය කියලා එකක් තිබෙනවා, ඒකට මහියංගනයෙන් එකම ළමයෙක්වත් ගිහිං නැහැ, මම ගියෙත් නැහැ නේ. එතකොට උසස් පෙළ උගන්වලා, ළමයි සවුන්දය– විශ්ව විද්‍යාලයට යවන එක මගේ හීනය වෙනවා. මම එතනින් පටන් ගන්නවා.

එහෙම පටන්ගෙන චිත්‍ර උගන්වන්න පටන්ගත්තාම මෙන්න සෞන්දර්ය විශ්ව විද්‍යාලයට ළමයි තේරෙනවා. ඒ විතරක් නෙවෙයි ඌව පළාතේ මහියංගනය කියලා කියන්නේ අභියෝගයක් බවට පත් වෙනවා. ඌව පළාතෙන් සවුන්දය– විශ්ව විද්‍යාලයට වැඩියෙන්ම ළමයි යන්නේ මහියංගනයෙන් වෙනවා. ඒක අදටත් එහෙමයි. අපොස සාපෙ ගත්තොත් බෙස්ට් රිසාල්ට් මහියංගනය. 90%ක් පාස් වෙනවා. දැන් මම කලාපේ ගුරු උපදේශක. අපි එකතුවෙලා එතනට ගෙනල්ලා තියෙනවා. දැනුත් මම මේ නිමාඩු දවසක් උනත් ගෙදර නිකං ඉන්න පුලුවන්කම තිබියදීත්, මේ යන්නේ ඉස්කෝලෙකට. මේ කර්තව්‍ය නිසාම මට චිත්‍ර සඳහා ගෝලයෝ රාශියක් බිහිවෙනවා.

මහියංගනයේ චිත්‍ර ගුරුවරු ගොඩාක් දෙනෙක් මගේ ගෝලයෝ.  ඔහොම යනකොට දබානෙන් මතුවෙනවා චිත්‍ර කරන්න පුලුවන් දක්ෂ ගැහැනු ළමයෙක්. අපේ උවමනාව වෙන්නේ ඇය කොහොම හරි සෞන්දර්ය විශ්ව විද්‍යාලයට යවනවා කියන දේ. අපිට පේනවා ලාංකේය පරිසරය අස්සේ මේ ජනවර්ගයට ඉගනගැනීමේ බාධාවන් තිබෙනවා. ඉහළට යන්න සංස්කෘතික බාධාවන් තියෙනවා. ආර්ථික බාධාවන් තිබෙනවා. ඉතිං මේ පොතේ චරිතයට වගේම ඇත්ත චරිතයටත් ඒ බාධාවන් ආවා. තව දුරටත් ඉගනගෙන එයාට හොයාගන්න පුලුවන් අලුත් දේ ගැන මම සෑහෙන්න බලාපොරොත්තු සහගත වුණා. මම ඕස්ට්‍රේලියාවේ ඇබෝජියන්ස්ලාගේ ආර්ට් එක දැකලා තියෙනවා. මෙයාලටත් තිබෙනවා නේ ආර්ට් එකක්, ඒක කොහොමද දියුනු කරන්නේ ? එයාගේ ඇහින් කොහොමද ලෝකය දකින්නේ ? ඒක බලන්න මම ආසාවෙන් හිටියා. ඒක අහිමිවුණා. ඒ අහිමිවීම තමයි මේ පොත ලියන්න හේතුව.

රීසර්ච් එක කරන්න පටන් ගත්තාම මට පේන්න ගන්නවා ලංකේය වැදි ජනතාව කියන්නෙම අරුම පුදුම ජන කණ්ඩායමක් කියන දේ. ඇත්තටම මේ ඉන්නේ කුමන නියැදියක් ද කියන එක මට තාම හිතාගන්න බැහැ. ඒක ඒ තරම් විචිත්‍රයි. මට මේ පර්යේෂණයේදී තේරුණ දෙයක් තමයි, පහළ ඌවම ගත්තාම ඉන්න ජනතාවගේ අති විශාල ප්‍රමානයක් ඉන්නේ වැදි ගෝත්‍රයෙන් සිංහල ගෝත්‍රයට ආපු අය. මගේ අම්මා හේරත් මුදියන්සේලාගේ සුදු මැණිකා, හේරත් කියන්නේම වැදි සම්බවයක්.

ඔවුන් නුවරඑළිය පැත්තෙ හිටපු වැදි ගෝත්‍රයක අයිතිකාරයෝ. මේක මට කිව්වේ සීයා. අපේ අම්මා කතන්දර සාගරයක් දැනගෙන හිටියා. සුද්දන්ට ගහපු ඒවා, ඒ වැදි ගෝත්‍රයේ නායකයෝ සුද්දෝ එක්ක කරපු අරගලය ගැන කතා ගොඩක් එයා මට කියලා තියෙනවා. එයා ඒවා නිකං ඔහේ කියපු දේවල්, පස්සේ තමයි මම දන්නේ එයා සිංහල උනාට වැදි ජන සම්බවයකින් තමයි එන්නේ කියලා. මේ හැමතැනම ඉන්නේ සිංහල උන වැදි වාංශිකයන් තමයි, නැත්තං නමුනුකුලෙන් මෙහාට හිටපු විශාල වැදි වාංශික ජනතාවට මොකද වුණේ?

වෙල්ලස්සේ සටන් ඉතිහාසය අස්සේ වැද්දාට නිසි තැන ලැබුනේ නැහැ කිව්වොත්..

සෝකජනක ලෙස වෙල්ලස්ස සටන් ඉතිහාසයෙන් වැද්දාව අයින් කරනවා. නමුත් මේ ඉතිහාසයේ (1848) මාතලේ කැරැල්ලේදී පවා ප්‍රබලම කාර්ය කළේ වැද්දෝ. හේරත් වැද්දා මාතලේ එක කඳවුරක්ම මුර කළා. දහනක, ගුවන් කුමාරයා, ඕපල් ගම කුමාරයා, ඔවුන් ප්‍රාදේශීය පරිපාලනයේ හිටියේ, එතකොට ඔවුන්ට සිංහලයටන්ට වඩා මේ ප්‍රශ්නය දැනුනා. ඒක ((1818)) ත් එහෙමයි 1848ත් එහෙමයි. පොත් පත්වල නැතිවුණාට වඩා නැඟීසිටියේ ඔවුන්. දානිගල මහා බණ්ඩාර හත්සීයක් සෙනඟ අරං යනවා මේ සටනට. සිංහල අයට වඩා වැදි බටයෝ ඉදලා තියෙනවා 1818 කැරැල්ලේ.

ඔවුන් සිංහල අය එක්කම කැරැල්ලෙන් පස්සේ වෙල්ලස්ස ගිනි තියනකොට පලා ඇවිත් කන්දේ ගම, අලුකැටියාව, කඳු බැද්ද, වේවත්ත, වගේ වතුර තියෙන කැලෑ මැද සුද්ද කරගෙන ජනපද හදාගත්තා. අදටත් ඔවුන් ඒ තැන්වලම ඉන්නවා. අනික ඔවුන් ඒකාලේ ප්‍රභූ මට්ටමකින් හිටියා. සිංහල ගොවි සංස්කෘතියට හුරුවෙලා හිටියා ගම්වැද්දෝ විදිහට, කිවුලේගෙදර මොහොට්ටාල කියන වැදි නායකයා ගත්තොත් ඔහුට විශාල ගෙයක් තිබුණා, විශාල සේනාවක් හිටියා. ප්‍රභූත්වයෙන් තමයි හිටියේ. බුටාවේ රටේ රාළ කියන වැදි වාංශිකයාත් එහෙමයි. ඒ නිසා අපි ලොකුවට උඩ දැම්මට පරම පවිත්‍ර මාර සිංහලා තමයි අපි කියලා, ඒක එහෙම නැහැ.

-කේ. සංජීව-

Social Sharing
නවතම සාකච්ඡා