ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස නීතිඥවරු පොලීසියට බඳවා ගනියි.

මහ ජනතාවට නීතිය සමීප කරවීම හා පොලීසිය මඟින් ලබා දෙන සේවය තවදුරටත් කාර්යක්ෂම කරවීම සදහා නීතිඥවරුන් 150 දෙනෙකු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස පොලිස් සේවයට බදවා ගැනීමට අධිකරණ අමාත්‍යාංශය තීරණය කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් මේ ඉල්ලීම කර ඇත්තේ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා විසිනි.

ඒ අනුව මේ  පිළිබදව විශේෂ සාකච්ඡාවක් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතාගේ  ප්‍රධානත්වයෙන් අද (11) අධිකරණ අමාත්‍යාංශයේදී පැවතුණි. එම සාකච්ඡාව සදහා නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර, ජනාධිපති නීතිඥ යු.ආර්.ද සිල්වා, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (නීති) පියුමන්ති පීරිස් යන මහත්ම මහත්මීන් ද එක්ව සිටියහ.

අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් පසුව අදාළ සම්මුඛ පරීක්ෂණ සිදු කිරීමෙන් පසුව ඔවුන් පොලිස් සේවයට බදවා ගැනීමට නිමිත අතර ඔවුන් සතුව පවතින දක්ෂතාවය අනුව උසස්වීම් ලබා ගැනීමේ හැකියාව පවතියි.

බදවා ගැනීමෙන් පසුව දිවයිනේ පළාත් නවයම ආවරණය වන පරිදි ඔවුන් සේවයට අනුයුක්ත කිරීමට නියමිත අතර ඔවුන්ට නීතිය හා පොලිස් සේවය පිළිබදව විශේෂ පුහුණුවීම් ලබාදීමට නියමිතය. එම පුහුණුවීම් ලබාදීමට නීතිපති දෙපාර්තමේන්තුව ද එකග වී ඇත.

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස බදවා ගනු ලබන මෙම නීතීඥවරුන් දෙමළ භාෂාව පිළිබදව විශේෂ දැනුමක් ලබා තිබීම විශේෂ සුදුසුකම් ලෙස සලකා බැලිය යුතු බවත්, ඒ තුළින් දෙමළ භාෂාව කථා කරනු ලබන ජනතාව දිනා ගැනීමේ හැකියාව පවතිව බවත් අධිකරණ අමාත්‍යවරයා විශ්වාස කරයි.

තාක්ෂණය පිළිබදව දැනුම ඔවුන්ට පැවතීම අවශ්‍ය වන අතර අදාළ පුහුණුවීම් නිම වීමෙන් අනතුරුව ඔවුන්ව සේවා අවශ්‍යතාවයන් අනුව අනුයුක්ත කිරීමට නියමිතව ඇතැයිද අධිකරණ අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Social Sharing
නවතම