ඌව වෙල්ලසසේ මහා පරිමාන නීති විරෝධී ඉඩම් කොල්ලය!

රොබර්ට් බ්‍රවුන්රිග් ගෙන් පසුව ඌව වෙල්ලස්ස වැනසීමේ මහ සැලැසුමක් ක්‍රියාත්මක වේ. මොණරාගල හා බදුල්ල දිස්ත්‍රික්ක දෙකට අයත් අක්කර 62500 ක් උක් වගාව සදහා IMS හෝල්ඩින් හා ගැසල් වෙන්චස් සමාගම් වලට, අක්කර 7000 ක් උක් වගාව සදහා පැල්වත්ත සීනි සමාගමට, අක්කර 50000 ක් බඩඉරිගු වගාව සදහා සමාගම් වලට, අක්කර 5000 ක් චීන කර්මාන්තශාලා ඉදි කිරීමට හා අක්කර 3000 ක් උක් වගාව සදහා ඇතිමලේ වැවිලි සමාගමට ලබා දී තිබේ. මින් විශාල ඉඩම් ප්‍රමාණයක් ගොවීන්ගේ වගා බිම් හා අලි ඇතුන් ඇතුළු වන සතුන්ගේ වාසස්ථාන වේ. මේ හේතුවෙන් අනාගතයේ ඌව වෙල්ලස්සේ ජනතාවට දරුණු ඛේදවාචකයකට මුහුණ දීමට සිදු වේ.

බිබිල – ඇකිරියන්කුඹුර අක්කර 62500 ක උක් වගා ව්‍යාපෘතියෙන් ඌව පතන්බිම් හා ගොවීන්ගේ වගා බිම් IMS හෝල්ඩින් පුද්ගලික සමාගමේ හා සිංගප්පූරු ගැසල් වෙන්චස් පුද්ගලික සමාගමේ ආයෝජන ව්‍යාපෘතියට ලබා දීමට නැවතත් සූදානම් වේ.

අක්කර 562 ක භූමි ප්‍රමානයක් ගොවි පවුල් 163 ක් ඉවත් කරමින් මේ වන විට ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇත.

වන සංරක්ෂණ ආඥා පනත, ජාතික පාරිසරික පනත හා පුරාවිද්‍යා ආඥා පනත උල්ලංඝනය කරමින් මෙම ව්‍යාපෘතිය සිදුකරනු ලබයි.

ශ්‍රී ලංකාවේ සුවිශේෂී ජෛව කලාපයන් වන මෙම ප්‍රදේශවල අරළු , බුළු, නෙල්ලි, ගම්මාළු වැනි ආයුර්වේද වටිනාකම් වලින් යුක්ත ‌ඖෂධ හා පිණිබරු, වැනි තෘණ වලින් සමන්විත පරිසරයක් දැකිය හැක. සැවානා තෘණ භූමි හෝ ඌව පතන්බිම් ලෙස හැඳින්වෙන මෙම කලාපවල පඳුරු කටුස්සන්,උභය ජීවීන් (ගල්පර මැඩියා) වැනි පාරිසරික වටිනාකම් රැසක් ඇති ජීවීන්  සහ බෝල වටුවා, ලා කොල කෑරලා, පතන් කුකුළා වැනි සත්වයින ද සුවිශේෂි සමනල් විශේෂයන් ද වේ.

පැල්වත්ත සීනි සමාගම නැවතත් මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය, වන්දම, දෙමලිය, මහ ආරගම හා අලූත්වෙල ප්‍රදේශ වල ගොවීන්ගේ හේන් වගා බිම් හා හදපානාගල වැවේ ජල පෝෂක වනාන්තර කොල්ලකෑමට පටන්ගෙන ඇත.

මෙම ව්‍යාපෘති සඳහා බහුජාතික සමාගම්වලට මෙලෙස ඉඩම් ලබාදීම තුලින් ,ජලපෝෂක ප්‍රදේශ විනා කිරීමත් එහි ප්‍රථිපලයන් ලෙස

ජල උල්පත් සිඳී යාම, වන සතුන්ගේ වාසභූමි විනාශ කිරීම නිසා අලි ඇතුන් ගම් වැදීම, ගොවීන්ගේ ඉඩම් අහිමි වීම නිසා කෘෂිකර්මාන්තය බිඳ වැටීම ඔවුන්ගේ ජීවනෝපායන් අහිමි වීම, කිරි ගව පාලනයෙහි නිරතව සිටින පුද්ගලයින්ගේ ජීවනෝපායන් අහිමි වීම සහ කිරි ආශ්‍රිත නිශ්පාදන ක්‍රියාවලිය අක්‍රිය වීම ප්‍රධාන වශයෙන් පෙන්වා දීමට හැක.

අචල පියුමන්ත

මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය මොණරාගල.

Social Sharing
නවතම