නැගෙනහිර ඉඩම් පවරා දී ආණ්ඩුව කෝටි ගණනින් පාඩු ලබයි!

යුද්ධයෙන් දොළොස් අවුරුද්දක් ගිය පසුත් උන්හිටි තැන් අහිමිවූ ජනකායක් ඉන්නා නැගෙනහිර පළාතේ ආයෝජන සඳහා පවරා දී ඇති ඉඩම්වලින් ආණ්ඩුව අපේක්ෂා කළ කෝටි ගණනක මුදලක් ලැබී නැති බව හෙළිවී තිබේ.

ත්‍රිකුණාමලය දිස්ත්‍රිකකයේ කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ව්‍යාපාරිකයන්ට සහ විවිධ පුද්ගලයන්ට සංවර්ධන කටයුතු සදහා දීර්ඝකාලීන බදු සහන මත ලබාදී ඇති ඉඩම් වලින් රජයට අයවිය යුතු තිස්හතර කෝටි හැට අට ලක්ෂයක මුදල් ප්‍රමාණයක් ගෙවීම ඔවුන් විසින් පැහැර හැර ඇති බව ඉඩම් අමාත්‍යවරයා පවසයි.

එම අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පෙබරවාරි 9 අගහරුවාදා  පැවති මාධ්‍ය හමුවේදී  අමාත්‍ය  එස්. එම්. චන්ද්‍රසේන ඒ බව හෙලි කර තිබේ.

කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුඹුරුපිට්ටි නැගෙනහිර (240 බී) ග්‍රාම නිලධාරී වසමේ ත්‍රිකුණාමලය පුල්මුඩේ ප්‍රධාන මාර්ගයේ, ඉරක්කණ්ඩි පාලම හා සලපේ ආරූ පාලම අතර ප්‍රධාන මාර්ගය හා මුහුදු වෙරළ තීරය අසළ  ප්‍රදේශයේ රජයේ ඉඩම් භාවිතාකරන පුද්ගලයන්  හත් දෙනකුගෙන් පමණක් රජයට අයවිය යුතු බදු මුදල් ප්‍රමාණය කෝටි දාහතක් වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ.

ඔවුන් කවරේදැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හෙළි කර නැත.

ඉඩම් අහිමි ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට ඉඩම් කැබැල්ලක් ලබාදී, ඒවාට ඔප්පු ලබාදීමටත් මේ වසරේදී ඉඩම් ඔප්පු එක් ලක්ෂ පනස් දහසක් ප්‍රධානය කිරීමට කටයුතු කරන බවත් අමාත්‍ය  එස්. එම්. චන්ද්‍රසේන එහිදී පවසා තිබේ.

ඉඩම් අහිමි ජනතාව

යුද සමයේත් ඉන් පසුවත් උතුරු හා නැගෙනහිර පළාත්වල  ආරක්ෂක අංශ විසින්  බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටින ඉඩම් නිදහස් කිරීම වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ග අමාත්‍යවරයා හෝ  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් හෙළි කර නැත.

රජයේ සංඛ්‍යාලේඛන උපුටා දක්වමින්  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් වන චිලී රටේ හිටපු ජනාධිපති මිෂෙල් බැෂලේ  පසුගියදා නිකුත් කළ වාර්තාකින් කියා තිබුනේ   උතුරු හා නැගෙනහිර පළාත්වල හමුදාව අත්පත් කරගෙන තිබූ ඉඩම්වලින් 90% කට ආසන්න ප්‍රමාණයක් ආපසු ලබා දී ඇති බවයි.

2009 දී අල්ලාගෙන තිබූ රාජ්‍ය ඉඩම් වලින් සියයට 89.26 ක්ද පුද්ගලික ඉඩම් වලින් සියයට 92.22 ක්ද 2019 දෙසැම්බර් 31 වනවිට ආපසු පවරා දී තිබේන බව වාර්තාව ප්‍රකාශ කරයි.

රජයේ සංඛ්‍යා ලේඛන විචාරයකින් තොරව පිළිගැනීම ප්‍රතික්ෂේප කරමින් දෙමළ ජාතික සන්ධානයේ (TNA) පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන් පසුගියදා පවසා තිබුනේ, මහකොමසාරිස්වරිය සඳහන් කරන දිනයෙන් අවුරුද්දකට වැඩි කලක් ගතවීමෙන් පසුත්, ත්‍රිවිධ හමුදාව අත්පත් කරගෙන සිටින අක්කර 8000 කට වැඩි භූමි ප්‍රමාණයක් ඒවායේ  නිසි අයිතිකරුවන්ට ආපසු භාර දී නොමැති බවයි.

වගා කළ හැකි ඉඩම් අක්කර දහස් ගණනක තවමත් හමුදාව වාඩිලා ගෙන සිටින අතර, එමඟින් දහස් ගණනක් දෙමළ ජනයාගේ ජීවනෝපාය අහිමි කර ඇති බව, කිලිනොච්චි වාසී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පවසා තිබුනි.

“ඉතිං මේ විදියට මහා පරිමාණයෙන් ඉඩම් අල්ලා ගන්නකොට මහකොමසාරිස් වරිය ආණ්ඩුවේ තොරතුරු වලින් විතරක් වාර්තාවක් හදලා ඒගොල්ලන්ට සැටිපිකෙට් එකක් දෙන එක යුක්ති සහගත නෑ. මේකම තමයි 2015 දීත් වුනේ. ආණ්ඩුව ප්‍රගතියක් දක්වනවා, ප්‍රගතියක් දක්වනවා, ප්‍රගතියක් දක්වනවා කියලා, වෙච්චි ප්‍රගතියක් නෑ.”

රජයේ ඉඩම් පුද්ගලයන් සහ සංවිධාන අවභාවිත කර හෝ අනවසරයෙන් අල්ලාගෙන ඇති අතර  සුදුසු පුද්ගලයන්ට අණපනත් ප්‍රකාරව එම ඉඩම් වලට නීත්‍යානුකූලව ඔප්පු ලබාදීමට කටයුතු කර අනෙකුත් ඉඩම් හා කෘෂිකාර්මික සංවර්ධන කටයුතු සදහා හැකි ඉක්මණින් යොදවන බවත් එස්. එම්. චන්ද්‍රසේන අමාත්‍යවරයා පැවසු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

යුද අනාථයන්ට තවමත් ඉඩම් නෑ

උතුරේ දියත් කළ යුද්ධය අවසන් වී දොලොස් වසරකට ආසන්න කාලයක් ගත වී  ඇතත් යාපනය දිස්ත්‍රික්කයේ අනාථ කඳවුරු තුළ පවුල් හාරසීයකට  අධික සංඛ්‍යාවක් තවමත්  සිටින බව පසුගියදා  හෙළි වී තිබුනි.

යාපනය දිස්ත්‍රික්කයේ අවතැන්වුවන්ගේ සුභසාධන මධ්‍යස්ථාන තුළ සිටින පවුල් 409 න් පවුල් 233 ක්ම  ඉඩම් නොමැති පවුල් වශයෙන් හදුනාගෙන ඇති බව රජය පවසයි.

මෙම තොරතුරු අනාවරණය වී තිබුනේ  ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි 1 සඳුදා රැස්වු කැබිනට් මණ්ඩලයේදීය.

Social Sharing
නවතම