ආණ්ඩුවේ බෙදීම  වළක්වා ගැනීමට මැයි දින තහනම් වුවාද?

අවුරුදු සමයෙන් පසු රට තුල කොවිඩ් තුන්වන රැල්ලක පෙර නිමිති පළ වන බැවින් මැයි 01 දාට යෙදී ඇති ජත්‍යන්තර කම්කරු (මැයි දිනය) පැවැත්වීමට අවසර නොදීමට රජය වෙනුවෙන් තීරණය කළ බව අප්‍රේල් 20 වෙනි දින සවස් භාගයේ දී කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කර තිබුණි.

ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණේ දේශපාලන පක්ෂ නියෝජිතයන් පිරිසක් හා පැවති සාකච්ඡාවකින් ගත් එකඟතාවය මත මෙම තීරණයට පැමිණි බවය.

නමුත් අදාල රූප රාමු අනුව එම සාකච්ඡාවට ගොස් තිබුණේ රජය නියෝජනය කරන පාර්ශව පමණක් දැක ගත හැකි විය. මැයි දිනය සමරන්නේ රජයේ දේශපාලන පක්ෂ පමණක් නොව, විපක්ෂ, වෘත්තිය සමිති ද මේ දිනය අභිමානවත් ලෙස සමරයි.

නමුත් එක්වරම මෙලෙස මැයි දින උත්සව වලට අවසර නොදීමට රජය ගත් තීරණ සම්බන්ධයෙන් මේ වන විට විපක්ෂයේ මෙන්ම වෘත්තිය සමිතිද සිය අප්‍රසාදය පළ කරමින් සිටියි.

මේ මැයි දින සැමරුම ගැන කථා කරද්දී අවුරුදු සමයට පෙර ආණ්ඩුවේ සිටි ප්‍රබල මැති ඇමතිවරු පිරිසක් කියා තිබුණේ ඔවුන් ආණ්ඩුවත් සමඟ මෙවර මැයි දිනය නොපවත්වන බවත් වෙනම මැයි දිනයක් පවත්වන බවත්ය. මේ නිසා ආණ්ඩුව යම් තිගැස්මකටද ලක් වී සිටියේය. මේ ආරවුල විසඳීමට අග්‍රාමාත්‍යවරයාද මැදිහත් වී වහාම අවුරුදු සමයෙන් පසු 19 වෙනිදා විශේෂ සාකච්ඡාවක්ද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සමඟ පවත්වා තිබුණි.

මේ අතර අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාද හිටපු ජනාධිපතිනියට ආරධනා කර තිබුණේ මෙවර පක්ෂයේ පැවැත්වෙන කුඩා මැයි දින සැමරුමට සහභාගී වන ලෙසටය.

19 දා අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ සාකච්ඡාවෙන් පසුව පසුදින (20) යුද්ධ හමුදාපතිවරයා විසින් මැයි දින පැවැත්වීමට අවසර ලබා නොදෙන බව ප්‍රකාශ කිරීමත් අතර සම්බන්ධතාවයක් තිබේදැයි මෙහිදී බොහෝ දෙනෙකුට ගැටලු මතුව ඇත.

කොවිඩ් මර්දන කටයුතු / නීරෝධායන නීති රිති පිලිබඳ අප්‍රේල් මස වන විට පැවතියේ ඇල් මැරුණු ස්භාවයකිනි. විශේෂයෙන්ම ජනතාව ඒ්කරාශි වෙමින් සාප්පු සවාරි යාමේදී පවා රජය සුපුරුදු සෞඛ්‍ය පිළිවෙත් මතක් කර සිටියා මිස ඒ්වා දැඩිව ක්‍රියාත්මක කළේ නැත. අවුරුදු උත්සව වලට ඉඩ දී තිබුණි. රූපවාහීනි නාලිකා මඟින්ද විශාල පිරිස් පිරිවරාගෙන අවුරුදු උත්සව පවත්වනු දක්නට ලැබුණි. මේවා දකින විට රටේ ජනතාවට කොවිඩ් ගැන බියක් දැණුනේ නැත.

නමුත් රජය අවුරුදු සමයෙන් පසුව තෙවැනි රැල්ලක අවදානම බලාපොරොත්තුවෙන් සිටියහ. දැන් එය පැමිණ ඇත. ඒ නිසා ජනතාව ඒකරාශීවන කිසිදු උත්සවයක් සඳහා අවසර ලබා නොදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියද පවසා තිබුණි.

මේ අතර ඉදිරි මාසයක කාලය තුලදී දැඩි සෞඛ්‍ය නීති රීති අනුගමනය නොකළහොත් මෙරට තුල කොවිඩ් ව්‍යාපාතියේ වර්ධනයක් විය හැකි බවින් ජනතාව ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කිරීම වැදගත් බවත් ඇය වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

කෙසේ නමුදු දැන් අවුරුද්ද අවසන්ය. ඊළඟට ඇත්තේ කම්කරුවාගේ ජාත්‍යන්තර දිනය සැමරීමය. දැන් එයටද කණකොකා හඩන්නට පටන් ගෙන ඇත. නමුත් රජය සංවිධානය කරන සෙසු උත්සව වලට නම් තහංචි නැත.

මේ අතර පොදු දේපළ හා මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානය පවසන්නේ ආණ්ඩුවේ මැයි දින තහනම පරාජය කළ යුතුව ඇති බවය.

එහි සම කැඳවුම්කරුවන් වන රංජන් සේනානයක, සිල්වෙස්ටර් ජයකොඩි යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් කර ඇත.

යුද්ධ හමුදාපතිවරයා පවසන පරිදි මැයි දින නොපැත්වීමට එකඟ වූ ඒ දේශපාලන පක්ෂ කවරෙක් ද යන්න හෙළි කිරීමට උත්සුක නොවු බවත්  යුද හමුදාපතිවරයා මැයි දිනය පැවැත්වීම සඳහා වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ සඳහා පිටිටනි හා පෙළපාලි මාර්ග වෙන් කිරීමෙන් අනතුරුව රටේ පවතින සෞඛ්‍යමය අවධාන දැකීම පුදුම සහගත බවද එම නිවේදනයෙන් කියා ඇත.

2020 පාර්ලිමේන්තු මැතිවරණය ඇතුළු ජනතාව දහස් ගණන් ඒකරාශී කෙරෙන ජනාධිපතිවරයාගේ ගම සමග පිළිසඳර, ජනයා දහස් ගණනින් සහභාගී වූ සිංහළ, දෙමළ අලුත් අවුරුදු සැමරුම් හා තවත් විවිධාකාරයේ ජනහමු සම්බන්ධයෙන් මුනිවත රැකි කෝවිඩ් 19 වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානයේ වසංගත රෝග ප්‍රධානීන් මැයි දිනය ආසන්නයේ බරපතල සෞඛ්‍ය අවදානමක් පිළිඳව අවදිවීම විහිලු සහගත බවත් ආණ්ඩුවේ අභ්‍යන්තර අර්බුදය හමුවේ හා සෑම පැත්තකින් ම ගිණියම්වන ජනතා කෝපය වර්ධනය වන මොහොතක ඊට බියවැදී රජයේ නොහැකියාව වසාගන්නට මේ මැයි දින තහනම යෝජනා කිරීමට කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානය යොදාගෙන ඇති බව ඔවුන් පෙන්වා දෙයි.

ලෝකයේ වැඩ කරන ජනතාව දිවිපුදා දිනාගත් ලෝක මැයි දින සැමරුම, ඊනියා දේශපාලන පක්ෂ නායකයන්ගේ හිමිකමක් නොවන බව පවසන, රාජ්‍ය, අර්ධරාජ්‍ය, බැංකු හා පුද්ගලික අංශයේ රටේ ප්‍රමුඛ වෘත්තීය සමිති හා බහුජන සංවිධාන 22න් සමන්විත පොදු දේපල හා මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානය, ආණ්ඩුවේ මේ මුග්ධ සැළසුම පරාජය කරන්නට පෙරට එන ලෙස සමස්ථ වැඩකරන ජනතාවගෙන් ඉල්ලා ඇත.

මේ අතර ලංකා ගුරු සංගමයද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා ඇත්තේ වැඩකරන ජනයාගේ මැයි දින සැමරුම් කොවිඩ් කමිටුව උපයෝගී කරගෙන නතර කිරීමට ආණ්ඩුවට කිසිදු අයිතියක් නොමැති බවය.

-ශානි-

Social Sharing
නවතම