ජීවිතයේ අඳුරු මුල්ලට කැමරාව හැරවූ සිනමාකරුවා කිම් කි ඩුක්

…..මිනිස් ජීවිතය දීප්තිමත් සේම අඳුරුය. බොහෝ සිනමාකරුවන් සාහිත්‍යවේදීන් තමන්ගේ නිර්මාන සඳහා පාදක කරගන්නේ ජීවිතයේ පවතින දීප්තියයි. එහෙත් කිම් කි ඩුක් නම් කොරියානු සිනමාකරුවාගේ සිනමා ජීවිතය එසේ නොවේ. ඔහු කොරියානු මිනිසාගේ කළු පසුබිමට තමන්ගේ සිනමා කැමරාව හැරවුවේය. ඒ හැරවුම නිසාම කොරියානු ප්‍රේක්ෂකයින් කිම් ගේ සිනමා නිර්මාන වැළඳ ගත්තේ නැත.

එහෙත් ඔහු ගේ එම නිර්මාන බටහිර වැළඳ ගත්තේ කිම් කි ඩුක් යනු කීර්තිමත් සිනමාකරුවෙක් ලෙස ඔසවා තබමින් ය. ඔහුගේ නිර්මාන බොහෝමයකට වැනිස් කාන් වැනි ප්‍රධාන බටහිර සිනමා සම්මාන උළෙලවලදී සම්මාන ලැබුණි. එනිසාම කිම් කි ඩුක් ලොවපුරා ප්‍රකට සිනමාකරුවෙක් විය. කොවිඩ් මාරයා ඔහුගේ ජීවිතය උදුරා ගන්නාවිට ඔහු වර්තමානයේ සිටින ප්‍රකට සිනමාකරුවන්ගේ නාමාවලිය තුළ මුලටම වී සිටියේ ය. ලෝකය පුරාම සිනමාව ඉගන ගන්නා ශිෂ්‍යන් කිම් කි ඩුක් ගේ සිනමාවට ආශක්තය. එනිසාම ඔවුන් කිම් ගේ සිනමා ව්‍යාකරණය සොයා ගන්නට වෙහෙසෙයි.

කෙසේ වුණත් ඔහුගේ ජීවිතයද, ඔහුගේ සිනමාව තරම්ම විශ්මිත බව පසක් කරමින් කොවිඩ් වෛරසයට ඉඩදී ඔහු නිහඬ වුණි. පසුගිය දෙසැම්බර් 11 වෙනිදා කිම් කි ඩුක් ලැට්වියා හිඳී සිය ජීවිතයෙන් සමුගන්නා විට ඔහුට වයස අවුරුදු 59ක් ය. මේවනවිට මිලියන එක හමාරක් පමණ ජනතාව කොවිඩ් නිසා සිය ජීවිතයට සමුදී ඇත. ඒ අතර සිටින ප්‍රකටම නිර්මානකරුවා කිම් කි ඩුක් ය…..

වයස අවුරුදු තිස් දෙක වන විටදීත්, චිත්‍රපටයක් ‍නරඹා නොතිබූ  පුද්ගලයෙක්, පසු කළෙක යුරෝපයේ වඩාත් කීර්තිමත් සිනමා උළෙලවල නොවැරදීම දක්නට ලැබෙන චිත්‍රපට අධ්‍යක්ෂවරෙයකු බවට පත් වුයේය.  ඒ දකුණු කොරියානු සිනමා අධ්‍යක්ෂක කිම් කි ඩුක්ය.

කිම් කි ඩුක් යනු දකුණු කොරියානු චිත්‍රපට කලාව නියෝජනය කරන වඩාත්ම සුප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්ගෙන් කෙනෙකි. ඔහු‍ගේ සිනමා නිර්මාණ  යුරෝපිය සිනමා උළෙලවලදී සම්මාන රැසක් දිනා ගත්ත, සිය උපන් බිම තුළදී එම චිත්‍රපට දිගින් දිගටම අසාර්ථක නිර්මාණ බවට පත්වෙමින් තිබුනි. බොහෝ  දකුණු කොරියානුවෝ ඔහුගේ චිත්‍රපට “බිය ජනක”, “ භයානක”, “ තැති ගන්වන සුළු” සහ “අනවශ්‍ය ලෙස යුරෝපීයකරණය” වූ නිර්මාණ බවට චෝදනා කළෝය. ‍බොහෝ විට එයට හේතුව කිම් කි ඩුක් ගේ සිනමාත්මක ශෛලිය අනෙක්  දකුණු කොරියානු චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්ට වඩා පැහැදිලි ලෙසම වෙනස් ස්වභාවයක් ගත් නිසා වන්නට පුළුවන. එසේම ඔහු තම චිත්‍රපට තුළින් මතුකරන්නට උත්සාහ කරන වස්තු විෂයයන් නිසා වන්නට පුළුවන.

කිම් කි ඩුක් 1960 වසරේ දකුණු කොරියාවේ කඳුවලින් වට වුණු කුඩා ගම්මානයක උපත ලැබුවේය. ඔහුට වයස අවුරුදු  9ක් වන විට ඔහුගේ පවුල අය සියෝල් නුවරට ගොස් පදිංචි වුවෝය. අවුරුදු 16 ක් වන විට, ආර්ථික දුෂ්කරතා නිසා කිම් කි ඩුක් ට පාසල් ගමනට සමු දී කම්හලක වැඩට යාමට සිදුවිය.  ඉන් අනතුරුව වයස අවුරුදු විස්ස වන විට ඔහු හමුදාවට බැදී පාබල සෙබළෙකු ලෙස සේවය කිරීම ආරම්භ කළේය. ඔහුගේ ජීවිතයේ වයස අවුරුදු විසි ගණන් ගෙවී ගියේ හමුදාවට සේවය කරමින් සහ පල්ලියේ ස්වෙච්ඡා වැඩ වලට සහභාගි වී අන්ධ අයට උදව් පදව් කරමිනි.

ඒ අයුරින් ජීවිතය තුළ ඔහු විඳි අපමණ දුෂ්කරතා ඔහුගේ ජීවිතයට පැහැදිලි ලෙසම බලපෑමක් ඇති කළ අතර අඩ වශයෙන්, ඔහුගේ අනාගත සිනමා නිර්මාණයන්ගේ කතා වස්තූන්ද  එම අත්දැකීම වල ආභාෂය ලබා තිබුණේය. ඔබ ඔහුගේ ජිවිතයේ සැබෑ තතු සැබවින්ම අධ්‍යයනය කොට ඇත්නම් ඔහුගේ සිනමා පට වල බොහොමයක් වීරයන්  පහළ සමාජ පංතියට අයත් වන්නන් වීම ඔබව පුදුමයට පත් නොකරනු ඇත.( උදාහරණ ලෙස, “Crocodile”  සහ “Bad Guy” යන චිත්‍රපටවල මැරවර චරිත සහ “Empty House” චිත්‍රපටයේ ගෙවල් බිඳින්නා ගේ චරිතය).

Kim Ki Duk - Enfant terrible of south Korean Cinema කිම් කි ඩුක් පවසන්නේ ඔහු ලුම්පෙන් චරිත පිළිබඳ චිත්‍රපට නිර්මාණය කරන්නේ, ඔහුගේ චිත්‍රපට නරඹන්නන්ට ජීවිතය සැබවින්ම මොන වාගේදැයි දැන ගැනීමට ඉඩ සැලසීම සඳහාය. ඔහු වරෙක, සුළු කොට තැකිය නොහැකි ඔහුගේ චිත්‍රපට වල දක්නට ඇති කතා වස්තු පිළිබඳව මෙසේ පවසා සිටියේය.

“මට නොතේරෙන යමක් මා දුටු විට, එය වඩාත් පැහැදිලි කරගනු සඳහා මම ඒ පිළිබඳ චිත්‍රපටයක් නිර්මාණය කරන්නෙමි.”

කිම් කි ඩුක් නම් අධ්‍යක්ෂකවරයා ඔහුගේ සෙලෝලොයිඩ් වීරයින් තුළ වූ අභ්‍යන්තර ගැටුම්  එහි පරිසමාප්තියට ම රැගෙන යන අතර ඔහුගේ බොහෝ  සිනමා නිර්මාණ  බිහිසුණු දර්ශන වලින් ගහනය. දකුණු කොරියාවේ අනෙක් සිනමා අධ්‍යක්ෂකවරුවන් මෙන් නොව කිම් කි ඩුක් කොරියානු සමාජයේ  ගැටළු සාකච්ඡාවට බඳුන් කිරීමට ලැජ්ජා වූයේ නැත. එසේ දකුණු කොරියානු සමාජය කිම් කි ඩුක් විසින් වඩාත් විවේචනය ලක් කල චිත්‍රපට දෙකක් ලෙස “Address Unknown”  සහ “The Coast Guard” හැඳින්විය හැකිය. සැබවින්ම ඒ  ආකාරයෙන් අධ්‍යක්ෂවරයාගේ නිර්මාණ වල නිරූපිත ප්‍රචණ්ඩත්වයත් ඒවායේ කතා වස්තූනුත් ‍දකුනු කොරියානු සිනමා ප්‍රේකෂකයාව බිය වද්දනට ඇති.

කිම් කි ඩුක්  ළමා වියේ සිට සිතුවම් ඇඳීමට මහත් සේ ආශා කළ අතර 1990 වසරේදී ඒ සම්බන්ධයෙන් ඔහු තුළ තිබූ සිහිනයක් සැබෑ කර ගනිමින්, චිත්‍ර කලාව සම්බන්ධ පැරිසියේ කොලීජියකට ඇතුළු වීමට ඔහු වාසනාව උදා කර ගත්තේය. එකල ඔහුගේ විය හියදම් සොයා ගැනීම සඳහා විදී සිත්තරෙකු ලෙස වැඩ කිරීමටද ඔහුට සිදුවිය. ඔහු‍‍ගේ ජීවන අන්දරයේ වඩාත් පුදුම එළවන සුළු එක් සිදුවීමක් වන්නේ, ප්‍රංශයේදී ඔහු ජීවිතයේ පළමු වරට චිත්‍රපටයක් නරඹන්නේ ඔහුට වයස අවුරුදු තිස් දෙකේදී වීමය.  චිත්‍රපටයක් නැරඹීමට සහ එය සැබෑවටම තේරුම්ගැනීමට අවකාශ ඇත්තේ උගත් ප්‍රජාවට පමණක් යැයි සිතමින් ඔහු ඉන් පෙර සිනමා ශාලාවකට ගොඩ වැදි තිබුනේ නැත. (ඔහු එවැන්නෙකියි ඔහු පිළිබඳව කිසිදා සිතා තිබු‍නේ නැත). ඔහු පවසන පරිදිම, ඔහු මුලින්ම නැරඹූ “The Silence of the Lambs” (ජොනතන් ඩෑම්, 1991) සහ “Les Amants du Pont-Neuf” (ලියොස් කරාක්ස්, 1991) වැනි සිනමාපට ඔහුට දැඩි සේ බලපෑමක් කළ නිර්මාණයන්ය. සැබවින්ම එම සිනමා නිර්මාණ විසින්, කොරියානු සිසුවාට ඔහුගේ ජිවිතය,  සිනමාව සමඟ බද්ධ කොට සිතා බැලීමට මෙහෙය වූයේය.

අධ්‍යාපන කටයුතු වලින් අනතුරුව සිය රටට පැමිණි කිම් කි ඩුක් සිනමා තිර රචකයෙකු වීමට තීරණය කළේය. 1995 වසරේ කොරියානු චිත්‍රපට කවුන්සිලය (KOFIC) විසින් පැවැත්වූ තරඟයකදී ඔහුගේ තිර රචනාවක්  පළමු තැන දිනා ගත්තේය.  එම ත්‍යාගය සඳහා ලැබුණු මුදල් ඔහු යෙදවූයේ ඔහුගේ මංගල චිත්‍රපටය,  “Crocodile” නිෂ්පාදන කිරීම සඳහාය. ඉන් අනතුරුව 1996 සිට 2008 දක්වා කාලය තුළ ඔහු එක් වසරකට අඩු තරමේ එක් චිත්‍රපටයක් හෝ එළි දැක්වීම නොකඩවා සිදු කළේය.

ප්‍රථම වරට කිම් කි ඩුක්ගේ චිත්‍රපටයක් බටහිර විචාරකයින්ගේ නොමඳ අවධානයට ලක් වූයේ 1998 වසරේ ඔහු විසින් එළි දැක්වූ “Birdcage Inn”  චිත්‍රපටය විසිනි.  එතැන් පටන්  කිම් කි ඩුක් නම් දකුණු කොරියානු  චිත්‍රපට අධ්‍යක්ෂකවරයා යුරෝපයේ වඩාත් කීර්තිමත් සිනමා උළෙලවල ‍අනිවාර්යයෙන් නෙත ගැටෙන චරිතයක් බවට පත් විය. ඔහු 2004 වසරේදි “Empty House”  නම් චිත්‍රපටය සඳහා වැනිසීයෙදී  Small Golden Lion සම්මානයෙන්ද,  “Samaria” චිත්‍රපටය සඳහා බර්ලින් නුවරදී  Silver Bear නම් සම්මානයෙන්ද පිදුම් ලැබීය.

ඔහු ඊළඟට ලැබූ උසස්තම සම්මානය  වන්නේ 2011 වසරේදී ඔහු ලැබූ කෑන් චිත්‍රපට උළෙලේ  “Un Certain Regard” නම් සම්මානයයි. ඒ ඔහු විසින් නිර්මාණය කරන ලද  “Arirang” නම් චිත්‍රපටය සඳහායි. එම චිත්‍රපටය ඉතාමත් සුවිශේෂි වන්නේ එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔහු විසින්ම නිර්මාණය කරන ලද චිත්‍රපටයක් වීමයි, එනම් එහි අධ්‍යක්ෂකවරයාද, තිර රචකයාද, කැමරා ශිල්පියාද, සංස්කරණ ශිල්පියාද, එකම නළුවාද අන් කිසිවෙකුත් නොව ඔහුම පමණක් වීමය. “Arirang” යනු  දොම්නසේ දි මෙන්ම සොම්නසේදී ද ජනයා විසින්  ගායනා කරනු ලබන කොරියානු  ගීතයකි.

කාව්‍යමය ලෝකයේ වීරවරියගේ පෙම්වතා ඇයව  අත හැර යන විට ඔහු පසු කර යන ගිරිදුර්ගයේ නම ද එනමින් හඳුන්වයි. සැබවින්ම කිම් ගේ ජීවිතය සහ නිර්මාණයකරණය තුළද මෙම චිත්‍රපටය, 2008 වසරේ සිට 2011 දක්වා කාලය තුළ ඔහු විඳවමින් තිබූ අර්බූදයට, පෙර සහ පසු කාලය විදහාපාන එක්තරා ආකාරයක ගිරිදුර්ගයක් ලෙස හැඳින්විය හැකිය.

2008 වසරේ, “Dream” චිත්‍රපටය රූගත කිරීම් කරන අතරවාරයේ එහි නිළියක් මරණයට පත් වීය, ඔහු හා චිත්‍රපටවල වැඩ කළ පිරිසක් ඔහුගෙන් බිඳී, වැඩි ගෙවීම් කරන වෙනත් චිත්‍රපට අධ්‍යක්ෂයකු සමඟ වැඩ කිරීමට පටන් ගත්තෝය. එහි ප්‍රථිපලය වූයේ කොරියානු චිත්‍රපට අධ්‍යක්ෂවරයාගේ නිර්මාණශීලි මෙන්ම පෞද්ගලික ජීවිතයද කඩා වැටීමකට ලක් වීමය. “Arirang” යනු  අධ්‍යක්ෂකවරයා සිය හැඟීම් හා පොර බඳින ආකාරයත්, ඔහු නැවතත් සිනමා කාර්මාන්තයට ප්‍රවිශ්ඨ වීමට තීරණය කලේ ඇයිද යන්න පිළිබඳවත් කියැවෙන අර්ධ වාර්තාමය චිත්‍රපටයකි.

දීර්ඝ නිහැඬියාවකින් පසුව සිදු කරන පළමු සිනමාත්මක වෑයම ලෙස 2011 වසරේදී  කිම් කි ඩුක් විසින් “Amen” චිත්‍රපටය එළිදැක්වූයේය. ඉන් වසරකට පසුව ඔහු විසින් නිර්මාණය කරන ලද “Pieta” චිත්‍රපටය  වැනිස් චිත්‍රපට උළෙලෙදී සම්මාන පහක් දිනා ගත්තේය. ඉන් පසු, කිම් කි ඩුක් ඔහු විසින් මුහුණ දුන් අර්බූදය සාර්ථකව පාලනය කළා පමණක් නොව ඔහුගේ සිනමා ශෛලියේ වෙනසක් ඇති කරගනිමින්, කිසිවෙකු සැක නොකළ තරම් අද්වීතීය බවක්ද අත් කරගත්තේය.

Kim Ki Duk - Enfant terrible of south Korean Cinema සිය සිනමා ජීවිතය පුරාම ඔහුගේ සියලුම සිනමා නිර්මාණවල තිරපිටපත රචනා කලේ ඔහු විසින් යන කාරණය ඉතාමත් සිත් ගන්නා සුලු කාරණයකි.එසේම වඩාත් කුතුහලය දක්වන කාරණය වන්නේ ඔහුගේ සමහර චිත්‍රපට රූගත කලේ කිසිදු පිටපතක් නොමැතිවම වීමය. උදාහරණයක් ලෙස ලොව පුරා සිනමා ප්‍ර‍ේක්ෂාගාරය තුළ ඉමහත් ප්‍රසිද්ධියට පත් “Spring, Summer, Fall, Winter… And Spring” නම් චිත්‍රපටයට  පැහැදිලි  තිර පිටපතක් තිබුනේ නැත. චිත්‍රපටය රූගත කිරීමේ යෙදෙන කාර්ය මණ්ඩලයට, සෑම සෘතුවක් රූගත කිරීම ආරම්භයේදී කුඩා විස්තරයක් ලැබුණා පමණි.

අධ්‍යක්ෂකවරයා එක් සම්මුඛ සාකච්ඡාවකදී පැවසූයේ, ඔහුට අවශ්‍ය යැයි හැ‍‍‍ඟෙන්නේ නම් හෝ කිසියම් අලුත් දැක්මක් කා වැද්දීමට අවශ්‍ය යැයි  ඔහුට සිතෙන්නේ නම් රෑගත කිරීමක් අතරවාරයේ පවා තිර පිටපත වෙනස් කිරීම, ඔහු ඉතා කැමැත්තෙන් කරන බවයි. එම නිසාම ඔහුගේ චිත්‍රපට වඩාත් සජීවි බවක් ගන්නා අතරම, එම චිත්‍රපටවල බහුල ලෙස කතා වස්තුවේ අනපේක්ෂිත හැරවුම් ලක්ෂයන්ද දක්නට ඇත්තේ ඒ නිසා විය යුතුය.

කිම් කි ඩුක් ගේ චිත්‍රපටවල, කතාවට වඩා රූප, වැඩි වැදගත්කමක් සහිත භූමිකාවක් අත්පත් කරගනියි. “Empty House” චිත්‍රපටයේ  පළමු පැය භාගය තුළ  වචන දෙසීයක්වත් ඔබට ඇසෙන්නේ නැති තරම්ය. එසේම මෙම අද්විතීය අධ්‍යක්ෂකවරයාගේ විශ්වාසයට අනුව වචන නිතරම අරුත් විරහිතය, රැවටිලිකාරිය.

තමන්ගේ වීරයන්ගේ හැඟිම් සහ සංවේදනා කියා පෑමට අධ්‍යක්ෂවරයෙකුට ඔවුන්ව වැඩි වශයෙන් කතා කරවීම අවශ්‍ය නැත, එය ඔහු ප්‍රකාශ කරන්නේ වීරයන්ගේ හැසිරීම මඟිනි, ප්‍රචණ්ඩ හැසිරීම් මඟින් ද  එය ප්‍රකාශ කළ හැකිය.  එහෙත් කිම් ගේ චිත්‍රපටවල “ප්‍රචණ්ඩත්වය සඳහා ප්‍රචණ්ඩත්වය” දක්නට නැත, ඔහු එය දකින්නේ අඩුුවෙන් කතා කරන චරිත විදහා දැක්විය හැකි සංඥා භාෂාවක් ලෙසය. අධ්‍යක්ෂකවරයා පවසන්නේ ඔහුගේ චිත්‍රපටවල වීරයන් අතීතයේ මුහුණ දී ඇති ක්ෂතිමය අත්දැකීම් නිසා ඔවුන් එසේ නිහඬ පුද්ගලයන් වී ඇති බවය.

කිම් ගේ සිනමා නිර්මාණ රූපක වලින් ගහනය. “Spring, Summer, Fall, Winter… And Spring”  චිත්‍රපටයේ දෘෂ්ටාන්තමය ස්වරූපයෙන් මිනිස් ජීවිතයක අවධින් සහ චක්‍රකාකර පැවැත්ම  පිළිබඳව සාකච්ඡාවට බඳුන් කරයි. “Bad Guy” චිත්‍රපටයේ  මුහුදු වෙරළට  ගැහැණු ළමයාව රැගෙන යන ප්‍රධාන වීරයා විසින් පෙන්වා දෙන්නේ සාපාරාධි ලෝකයක රෝමෑන්තිකවාදයත්, මධ්‍යම පාංතික  වටිනාකමුත් ප්‍රතික්ෂේප කරමින් එම වීරයින් අත්පත් කරගත්තේ කුමක් ද යන්නයි. ප්‍රධාන වීරයා යනු ඔහුගේම ඉරණමේ සංකේතයයි. අධ්‍යක්ෂකවරයා “Bad Guy” චිත්‍රපටය පිළිබඳව මෙසේ පවසයි.

“හැම පුද්ගලයාටම අවශ්‍ය වන්නේ හොඳ වටා පිටාවක ඉපදී ගරුත්වයක් ඇතිව ජීවත්වෙලා මැරිලා යන්න. ඒත් කිසිදු දැනුම් දීමකින් තොරව ජිවිතයට ඇතුළුවන කිසිවක් නිසා එය වෙනස් විය හැකියි. අනෙක් මිනිසුන්ගේ ක්‍රියාවන් නිසා ඔබේ ජීවිතය උඩු යටිකුරු වීමට ඉඩ ඇති අතර ඔබගේ කැමැත්තකින් තොරව ඔබට එයට හුරු වීමට සිදු වනු ඇති.

2001 වසරේදී විකාර නගරයක මගේ අඬු බඬු සිඳ ගනිමින් ජීවත්වීමට දැරූ මගේ සියළුම පරිශ්‍රමයන් පසෙක තිබියදී, මම ‘නරක හාදයෙකු’ ලෙස ජීවත්වන්නේ යැයි මා පුදුමයට පත් කරමින්, මම වටහා ගත්තා. එහි ප්‍රධාන වීරයා යනු ඔහුගේ උපතේ සිටම දොම්නස විහිද වූ කෙනෙක්. අන්ධකාරයේ මිනිසා…අහිංසක බැල්මක් සහිතව, ගැහැණියකගේ ජිවිතයක් විනාශ කළ පුද්ගලයා. ඔහු යක්ෂයෙකු සේ පෙනෙන තරමට ඔහුගේ ක්‍රියාවන් සැහැසියි. මම ඔහු ‘ඉරණම’ ලෙස හැඳින්වීමට කැමැතියි.”

කිම් කි ඩුක් ගේ චිත්‍රපට තුළ බහාලන අරුත නිතරම පැහැදිලි සහ සරල වන්නේ නැත. හැමකෙනෙකුටම ‘ඔවුන්ගේ යමක්, ඔහුගේ නිර්මාණ තුළින් සොයා ගත හැක්කේ ඒ නිසාය.

 සුභාෂිණී චතුරිකා 

මෙය ඇලෙක්සැන්ද්‍රා උර්මන් විසින් ලියන් ලද, වොස්ටොක් මැගසින් වෙබ් අඩවියේ පළවුණු   Kim Ki Duk – Enfant terrible of south Korean Cinema නම් ලිපිය ඇසුරින් සකස්කරන ලද්දකි.  

Social Sharing
නවතම විශේෂාංග