සංහිඳියාවට බාධා කලොත් අත්අඩංගුවට – ආරක්ෂක ලේකම්

රටේ පවත්නා නීතියට පටහැනිව හෝ වෙනත් නීතියකට අනුව කටයුතු කිරීමට මහජනතාව පෙළඹුවහොත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට ජාතික ආරක්ෂාව සදහා වගකියන ආයතනය ලෙස කිසිවිටෙක පැකිලෙන්නේ නැති බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ  මේ රටේ සෑම පුරවැසියෙක්ම ඔහුගේ / ඇයගේ තරාතිරම කුමක් වුවත් රටේ පවතින නීතියට ගරු කළ යුතු බවය. එක් එක් අයගේ අභිමතය පරිදි නීති වෙනස් කළ නොහැකියි බවත් ජාතික ආරක්ෂාවට බලපාන කරුණු සම්බන්ධ නීති සංශෝධනය කිරීමට කිසියම් අවශ්‍යතාවයක් තිබේ නම්, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් විසින් කරනු ලබන ගැඹුරු අධ්‍යයනයකින් පසුව එවැනි නීති සංශෝධනය කළ හැකි බවය.

එසේම සාධාරණීකරණය කළ නොහැකි දේවල් කිසිවෙකුට සාධාරණීකරණය කළ නොහැකි බවත් එසේම ජනතාව සහ ආගම්  අතර  සහයෝගීතාවයට සහ සංහිඳියාවට අහිතකර ඕනෑම දෙයකට එරෙහිව කඩිනමින් ක්‍රියා කිරීමට සූදානම් යැයිද ආරක්ෂක  ලේකම්වරයා පවසයි.

ඒ අනුව වෛරී දේශපාලනය වපුරා ජාතීන් බේද භින්න කිරීමට උත්සහ කලොත් එසේ කරන පිරිස් අත්අඩංගුවට ගැනීමට ජාතික ආරක්ෂාව සදහා වගකියන ආයතනය ලෙස අපි කිසිවිටෙක පැකිලෙන්නේ නැති බවට ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික)   (ඊයේ 14) උදෑසන  මහරගම මහමේඝාරාමයේදී මාධ්‍ය විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්  මේ බව ප්‍රකාශ කර සිටියේය.

-ශානි-

Social Sharing
නවතම