තාරික් අහමඩ්ගේ නඩුව ඉදිරියට ගෙන යාමට ශ්‍රෙෂ්ඨාධිකරණයෙන් අවසර!

අලුත්ගම, දර්ගා නගරයේදී පොලිස් නිලධාරීන් පිරිසකගේ වධහිංසාවට ලක් වූ තාරික් අහමඩ්ගේ මූලික අයිතිවාසිකම් නඩුව පවත්වාගෙන යාම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසර ලබා දී ඇත.

ඒ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බි.පී. අලුවිහාරේ, මුර්දු එන්.බී. ප්‍රනාන්දු සහ අචල වෙන්ගප්පුලි යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසිනි.

2020-05-25 වන දින දර්ගා නගරයේ, අඹගහ හන්දියේ ඉන්ධන පිරවුම්හල අසල පිහිටි පොලිස් මුර පොලේදි තාරික් අහමඩ් (15) නම් මන්ද මානසික දරුවා පා පැදියකින් දර්ගා නගරයේ සිට වැලිපැන්න නගරය දෙසට ගමන් කර නැවත ආපසු එමින් සිටි අවස්ථාවේ මෙම මුරපොලේ සිටි පොලිස් නිලධාරීන් විසින් පහර දුන් බව පැවසේ. ඒ ඔහු වැලිපැන්න දෙසට යන අවස්ථාවේ පා පැදිය නවත්වන්න නවතන ලෙස සංඥා කළත් නොනවත්වා පැදගෙන යාම නිසා බව පසුව හෙළි වී තිබුණි.

මේ සම්බන්ධයෙන් තාරික්ගේ පියා පොලිසියේ උසස් නිලධාරීන්ට මෙන්ම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමටද පැමිණිලි කර තිබුණි.

මේ අතර එදින එම අවස්ථාවේ සේවය කළ උප පොලිස් පරික්ෂකවරයෙකුගේ ඇතුලු පොලිස් නිලධාරින් තිදෙනෙකුගේ සේවය අත්හිටුවීමටද කලුතර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් පියවර ගෙන තිබුණි.

කෙසේ නමුදු තාරික් අහමඩ්ගේ මූලික අයිතිවාසිකම් කඩවීම/ පොලිස් නිලධාරින් වධහිංසා කිරිමට විරුද්ධව SCFR (A) /322/2020) අංකය යටතේ අලුත්ගම පොලිසියට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කරන ලදි.

ඒ අනුව මෙම පෙත්සමේ කරුණු සලකා බැලු විනිසුරු මඩුල්ල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 12 -1 යටතේ පවත්වාගෙන යාමට අවසර ලබා දී ඇත. එමෙන්ම වගඋත්තරකරුවන්ට සති හයක් තුල මූලික විරෝධතා ගොනු කිරීමටද පෙත්සම්කරුට ඒ් සඳහා සති තුනක් තුල ප්‍රතිවිරෝධතා ගොනු කිරීමටද නැවත සැප්තැම්බර් 21 විභාගයට ගැනීමටද විනිසුරු මඩුල්ල නියෝග කර ඇත.

මෙහිදී පෙත්සම්කාර තාරික් අහමඩ්ගේ පියා වන මොහොමඩ් වාසීර් වෙනුවෙන් විධානපතිරන නීතිඥ සමාගමේ උපදෙස් මත නීතිඥ ඩිලාන්ද සිල්වා හා නීතිඥ අර්මීසා  ටීගල් සමඟ ජනාධිපති නීතිඥ සුමන්දිරම් මහතා පෙනී සිට ඇත.

වගඋත්තරකාර පාර්ශවය වෙනුවෙන් නීතිපතිවරයා පෙනී සිටින ලදි.

Social Sharing
නවතම