2015 ට පෙර පැවති යුගය නැවතත්?

මීරිගම නගරයේදී ඉකුත් 10 දා සවස විකල්ප පුවත්පත් මාධ්‍යවේදියෙකු  පැහැරගෙන ගොස් පහර දී දෙමටගොඩ ප්‍රදේශයේ දමා යාමත් සමඟ නැවත සමාජයේ නොසන්සුන්තාවයක් මතු වෙමින් ඇත.

මෙසේ පැහැර ගැනීමට ලක්ව ඇත්තේ දඹදෙණිය, ලියන්විල පාර ප්‍රදේශයේ පදිංචි මහීම සුජීව ගමගේ නම් විකල්ප පුවත්පත් මාධ්‍යවේදියාය.

මොහු 1987 සිට මාධ්‍ය ක්ෂේත්‍රයේ නියැලී සිටින පුද්ගලයෙකු වන අතර යුක්තිය පුවත්පතේද හිටපු මාධ්‍යවේදියෙකි.  දැනට පෙරලිය හා යුගය පුවත්පත් වල මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරන මොහු සියරට හා පතුල නමින් මුහුණු ‌පොතේ පිටු දෙකක්ද පවත්වාගෙන යන්නෙකි.

ඉකුත් 10 වෙනිදා උදෑසන 6.30 -7.00 ත් අතර කාලයේ මොහු නිවසේ සිට මීරිගමට බසයෙන් පැමිණ ඉන් බැස දුම්රිය ස්ටේෂම වෙත යාමේදී නවතා තිබු කළු පැහැති ජීප් රියක් වෙත එක්වරම ඇද දමාගෙන මුහුණ කවරයක් වැනි දෙයකින් වැසු බව කියයි.

පසුව ඔහුගේ ජංගම දුරකථනය රැගෙන ඇති එම පිරිස මොහුව විනාඩි 45 ක පමණ කාලයක් ජීප් රියෙන් ගෙන ගොස් නිවසකට ගෙන ගිය බවත් එහිදී මොහුව තලයක් වැනි දෙයකින් පුච්චමින් හා පහර දෙමින් ඔහුට විකල්ප මාධ්‍ය පවත්වාගෙන යාමය සඳහා මුදල් ලැබෙන ආකාරය විමසු බව කියයි. එමෙන්ම පසුව පාස්කු ප්‍රහාරයට අදාල ප්‍රධාන සැකකාරියකට අයත් හඬපටයක් ගැන විමසා ඇති අතර සුජීව මහතා පවසන්නේ එම පිරිසට එම හඬ පටය අවැසිව තිබු බවය.

මින් ඉදිරියට කටයුතු කළ යුත්තේ ඔවුන් කියන ලෙසටත් නැතිනම් බිරිඳ හා දරුවා ගැන ඔවුන් බලාගන්නා බවද කියා තර්ජනය කරමින් යළි දුරකථනයද ලබා දී සවස 2.00 ට පමණ දෙමටගොඩ සමන්තා සිනමා ශාලාව අසල බිමට ඇද දමා ගිය බවද සුජීව මහතා පවසයි.

ඉන් අනතුරුව ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතාගේ උදව් ලබාගෙන කොළඹ ජාතික රෝහලට ඇතුලත් වු බවත් මේ වන විට පොලිසියේ නිලධාරීන් කිහිප දෙනෙකුම පැමිණ ප්‍රකාශ ලබා ගත් බවද වැඩිදුරටත් පවසා සිටියි.

මේ සම්බන්ධව මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාශය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත.

මේ අතර මේ සම්බන්ධව හිටපු කථානායක කරු ජයසුරිය මහතා සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් කියා ඇත්තේ නැවතත් 2015 ට පෙර පැවති යුගය සිහිපත් කරන බවය. තමන්ගේ සහෝදර මාධ්‍යවේදියෙකුට හිංසනයක් වු අවස්ථාවේ ඊට එරෙහිව පෙනී නොසිටින මාධ්‍ය කර්මාන්තය ගැන කණගාටුදායක බවද ඔහු කියා සිටියි.

-ශානි-

Social Sharing
නවතම