මාධ්‍ය සංවිධානවල නිදහස ගැන විත‍රක් කතා කරන්න එපා!

මාධ්‍යවේදී කපිල එම් ගමගේ

ජඩ මාධ්‍ය ද? ජන මාධ්‍ය ද?

ලංකාවේ මාධ්‍ය තේරුම් ගැනීමේදී, මාධ්‍යයේ ස්වරූපය ඉස්සෙල්ලාම අවබෝධ කරගන්න ඕන. ඒ තමයි ලංකාවේ මාධ්‍ය ප්‍රධාන වශයෙන්ම ධාරාවන් දෙකක් තියෙනවා. ආණ්ඩුව සතු මාධ්‍යය සහ පෞද්ගලික ව්‍යාපාරිකයන් සතු මාධ්‍යය. මේක පුවත්පතේ, ටෙලිවිෂනයේ සිට වර්තමානය වෙනකොට නව මාධ්‍ය දක්වාම විහිදෙනවා. දැන් මේවා හැම වෙලේම වැඩ කරන්නේ ඒගොල්ලො විසින් ගොඩනගන ලද න්‍යාය පත්‍රයකට අනුව. ආණ්ඩුවේ මාධ්‍ය අපි උදාහරණයකට ගත්තොත් ඔවුන් හැම වෙලාවෙම බලයේ ඉන්න රජයේ බල ව්‍යාප්ෘතිය වෙනුවෙන් බලය තහවුරු කරගැනීම කියන කාරණය පදනම් කරගෙන තමයි වැඩ කරන්නේ. පෞද්ගලික මාධ්‍ය ගත්තොත් මේවට ආයෝජකයින් විශාල මුදල් ප්‍රමාණයක් ආයෝජනය කරන්නේ නිකමට නෙමෙයි.  ඒකෙන් කිසියම් ආකාරයක ප්‍රතිලාභයක් බලාපොරොත්තුවෙනවා ඔවුන්. ඊළඟ කාරණය තමයි ඔවුන් සමාජ පිළිගැනීමට අවශ්‍ය උපකරණක් හැටියට මේක පවත්වාගෙන යනවා. එතකොට මේකේ තියෙන්නේ ජනතා කේන්ද්‍රීය එහෙම නැත්නම් ග්‍රාහක කේන්ද්‍රීය අරමුණක් නෙමෙයි. ඒ අරමුණු දෙකම ග්‍රාහක ප්‍රතිවිරෝධයක් හදන අරමුණු දෙකක්.

මේ නිසා තමයි ලංකාවේ සමාජයේ අපි දකින්නේ නැත්තේ ග්‍රාහකයාගේ පැත්ත එහෙමත් නැත්තම් අසන්නා, කියවන්නා, නරඹන්නාගේ පැත්තේ ඉඳලා මාධ්‍ය ආයතන වැඩ කරනවා. සමාජය තුළ ඒ කියන්නේ මේවා පිළිබඳව කිසියම් අවබෝධයක් තියෙන කණ්ඩායම් ටිකෙන් ටික මේ මාධ්‍යවලට තමන්ගේ විරෝධය පාන්න ගන්නවා. ඒ නිසා තමයි ජනමාධ්‍ය, ජඩමාධ්‍ය කියන තැනකට මේ වචනය පවා විකෘති කරන්නේ. මේ ආයතනවල මාධ්‍යකරණයන් ගැන හිතන්නකෝ, මොවුන් යම් යම් සිද්ධි වාර්තා කරන්නේ හරිම මානව විරෝධී විදිහට. ඒකේ ඇත්තකුත් තිබෙනවා. උදාහරණයක් ගත්තොත් කිසියම් නාළිකාවක ප්‍රවුර්ති ප්‍රකාශයක් ගම්මු. ඒක කොච්චර දුරකට හානි කරනවද මිනිස්සුන්ට කියන එක හරිම ගැටලුවක්. බලන්න මේ වසංගත තත්ත්වය අපේ මාධ්‍ය කොහොමද වාර්තා කළේ? ඒ වාර්තා කළ විදිහ හරිම වැරදියි නේ. මානව විරෝධී විදිහට නේ ඔවුන් මේ තොරතුරු ජනතාව වෙත අරගෙන ගියේ. මේ වෛරස් එක වැළඳුන මිනිස්සු පිටිපස්සේ එළවගෙන යනවා, ඒ මිනිස්සුන්ව මාධ්‍යට නිරාවරණය කරනවා, මාධ්‍යයේ තිබෙන මූලික ආචාර ධර්මීය කාරණාවත් පිළිපදින්නේ නැති තැනකට ආවානේ මේ මාධ්‍ය. මේක අඩු වැඩි වශයෙන් දීර්ඝ කාලයක් පුරා තිබ්බ දෙයක්, දීර්ඝ කලයක සිට වර්ධනය වුණ දෙයක්. අතීතයෙත් මේක මෙහෙම තමයි. හැබැයි මෙතරම්ම උඩුදුවපු ප්‍රශ්නයක් වුණේ නැහැ. දැන් තත්ත්වය බරපතළයි. ‍යම් නියාමන යාන්ත්‍රනයකට නොගියොත් මෙතනින් එහාට මේකට යන්න බැහැ.

රේඩියෝව එදා සහ අද

ගුවන් විදුලිය කියන ජන මාධ්‍යට තිබුණ එකම නාළිකා ගොන්න තිබුණේ ආණ්ඩුව සතුව. ඒ කියන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව. මේකේ ඉතිහාසය අරං බැලුවොත් මේකත් අතීතයේ වැඩ කරලා තියෙන්නේ මෙහෙම තමයි. ඒ කියන්නේ ආණ්ඩු එනකොට මිනිස්සු එළවලා තියෙනවා, ආණ්ඩු එනකොට අලුත් මිනිස්සු ඉහළ තනතුරුවලට පත් කරලා තියෙනවා, බලය වෙනුවෙන් ඇතුලේ කුලල් කා ගැනීම් තිබිලා තියෙනවා, ලස්සනම දේ තමයි රාජ්‍ය නායකයින් රවට්ටලා තිබෙනවා. එනිසා අතීතයේ මහා ප්‍රභාවක් තිබුණා කියන කාරණය සාපේක්ෂ කාරණයක්. මොකද ඒකාධිකාරයක් තමයි එදා ගුවන් විදුලියට තිබුණේ. ඒනිසා එදා ගුවන් විදුලිය කරන කිසිදෙයක් කවුන්ටර් වුණේ නැහැ. එතකොට ඉතිං එළියේ මිනිස්සුත් හිතුවා අම්මා ගුවන් විදුලිය කියන්නේ මාර තැනක් කියලා. නමුත් යම් යම් ක්ෂ්‍රේත්‍රවල ප්‍රමිතීන් ඇති කිරීමේදී ගුවන් විදුලිය ප්‍රමුඛ කාර්‍යයක් කළා. ඒක නැහැ කියන්න බැහැ. සිරස ආවට පස්සේ ගුවන් විදුලිය නොහිතපු විදිහට තමන්ව කවුන්ටර් වෙන්න පටන්ගත්තා, එතකොට තමයි ප්‍රශ්නයක් ආවේ දැන් අපි මොකද කරන්නේ කියලා. පුද්ගලික ව්‍යාපාරිකයාගේ ගුවන් විදුලිය ආවේ නව තාක්ෂණය එක්ක, එතකොට මොකද වුණේ? අසන්නා ගුවන් විදුලිය ප්‍රතික්ෂේප කරන්න පටන් ගත්තා. ඒ මොකද ඔවුන්ට දැනෙන්න උනා ගුවන් විදුලිය කියන්නේ මීට වඩා විසිතුරු මාධ්‍යක් කියලා. එතනින් පස්සේ තමයි ගුවන් විදුලියෙන් ශ්‍රාවකයෝ ගිලිහෙන්න පටන් ගත්තේ.

මම මේ වෘත්තියට මාධ්‍යකරුවෙක් වශයෙන් එනකොට ලංකාවෙ මාධ්‍ය ලෝකය මෙතරම් ලොකු නැහැ. ලංකාවේ රාජ්‍ය  මාධ්‍ය  සහ  පුවත්පත් කිහිපයක් විතරයි තිබුනේ. රේඩියෝ ටෙලිවිෂන් මාධ්‍යය රජය සතු වෙලා තිබ්බේ. ඔවුන් රජයට පක්ෂපාතීව රජයේ බලය තහවුරු කරගැනීම සඳහා තමයි වැඩ කළේ. ඔය අතරේ මගේ වෘත්තිය ජීවිතේ මම ටිකක් වෙනස් විදිහට මේ දිහා බලන්න පෙලඹුණු කාරණය තමයි ගුවන්විදුලි මාධ්‍යයකරුවෙක් හැටියට වෘත්තීයමය වශයෙන් 1986 සම්බන්ධ වෙනකොට මට වැඩ කරන්න හම්බුනේ ලංකාවේ ප්‍රජා ගුවන් විදුලියේ. මෙම ගුවන්විදුලි සේවාව ග්‍රාහක කේන්ද්‍රීය විදිහට වැඩ කළා. ඒකට අපිට අවශ්‍ය පුහුණුව පවා දුන්නා වෙන වෙන රටවල් වලින්. ඇත්තටම ලංකාවෙ යුනෙස්කෝ ව්‍යාපෘතියක් හැටියට මේක ක්‍රියාත්මක වුණේ. ඒ නිසා  විශේෂඥ උපදේශකවරු යටතේ අපිට පුහුණුවක් ලබා දීලා ඒ අය කියලා දුන්නා කොහොමද ග්‍රාහක කේන්ද්‍රීයව රේඩියෝ නාලිකාවක් පවත්වගෙන යන්නේ කියලා. ඒවා අඩු වැඩි වශයෙන් යම් කාර්යභාරයක් කළා. ඒ වෙලාවෙ මම අමු මිනිහෙක් හැටියට රේඩියෝ එකට එන්නේ. මාධ්‍ය පිළිබඳ ලොකු දැනුමක් ඇතිව නෙමෙයි. ආසාවක් ඇතිව විතරයි. ඒ නිසා මං මේක ඇතුළත පොඩ්ඩක් හැදෑරීමක් කළා. කොහොමද ග්‍රාහක කේන්ද්‍රය විදිහට මාධ්‍ය හසුරවන්නේ කියන දේ ගැන. අද, කාලයකට පස්සේ නැවත බලද්දි මේ පිළිබඳ බරපතළ විවේචනයක් මට තියෙන්නෙ එහෙමයි.

මාධ්‍ය නියාමනයක් අවශ්‍යයි

අවුරුදු 35ක් විතර වෙන මගේ මාධ්‍ය ජීවිතේ මම ලබපු අත්දැකීම් එක්ක මගේ ස්ථාවරය තමයි ලංකාවේ මාධ්‍ය නියාමනය විය යුතුයි කියන එක. ඒ සඳහා යම් ආයතනයක් බිහිවිය යුතුයි. මම මේක දැනට අවුරුදු 10ක 15ක ඉදලා කියමින් ඉන්න දෙයක්. ඒ වගේම මම ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා. ලංකාවට අයිති 86 ඉදලා 108 දක්වා වන සංඛ්‍යාත වර්ණාවලිය මහජන දේපලක්. මේක නඩුවකිනුත් ඔප්පු උනා. තිලක් ජයරත්තන මහත්තයා අධ්‍යාපන සේවයේ ඉන්න කාලේ අධ්‍යාපන සේවය වැහුවහම අසන්නෙක් නඩුවක් දැම්මා, මේ නඩුව අසන්නා දිනුවා. ඒ දිනීම හරහා කිව්වේ මේ සංඛ්‍යාත, මේවා කුළියට ගන්න මිනිස්සුන්ට ඕනෑ විදිහට භාවිතා කරන්න බැහැ කියලා, ඒ භාවිතාවන් ප්‍රශ්න කිරීමේ ශුද්ධවූ අයිතියක් පුරවැසියාට තියෙනවා කියන දේ තමයි ඒ නඩු තීන්දුවෙන් කියවුණේ. ජනතාවට මේවා ගැන අවබෝධයක් නැහැ. ජනතාව මාධ්‍යයේ තියෙන විසිතුර දකින්න විතරයි කැමති. මේ විසිතුරට යටින් තියෙන සත්‍ය අපි ඉක්මනින් තේරුන් ගත්තේ නැත්තං අපි අගාධයට තමයි යන්නේ. මාධ්‍යයේ නිදහස වෙනුවෙන් පෙනී සිටින ආයතන සහ සංවිධානවලට උනත් මේක නැහැ. මම මේ මාධ්‍ය සංවිධානවලට කියන්නේ මාධ්‍ය සංවිධානවල නිදහස ගැන විත‍රක් කතාකරන්න එපා, ඒක ඒකපාර්ශිකයි. මහජනතාවට නිවැරදි තොරතුරු දැනගැනීම තිබෙන අයිතිය වෙනුවෙන් මාධ්‍ය සංවිධාන පෙනී සිටිය යුතුයි. එහෙම පෙනී සිටින මාධ්‍ය සංවිධානයක් කෝ තියෙනවද?

වල් බූරු නිදහස

ජනමාධ්‍ය ආයතන මාධ්‍ය නිදහස අද වල් බූරු විදිහට තමයි භාවිතා කරන්නේ. කවුරු හරි මනුස්සයෙක් මේක ප්‍රශ්න කරපු ගමන් ඔහුගේ මුහුන රවුම් කරලා දානවා එච්චරයි. ඒ විදිහට තමයි ඔවුන් ඒක කවුන්ටර් කරන්නේ. ස්ත්‍රී දූෂණයක් වගේ දෙයක් ජනමාධ්‍ය වෙත ගෙන ඒමේදී ඒකට යම් ආකාරයක සීමාවන් තබාගත යුතුයි. ළඟම රට ඉන්දියාවවත් මේ තරම් ජරාවිදිහට මාධ්‍ය භාවිතා කරන්නේ නැහැ. අඩුම වශයෙන් දූෂණයට ලක්වුණ කාන්තාවකගේ රූපයක්වත් පෙන්වන්නේ නැහැ. සැබෑ නමවත් කියන්නේ නැහැ. අන්වර්ථ නාමයකින් තමයි ඔවුන් කරුණු වාර්තා කරන්නේ. ඉන්දියාවේ වෛද්‍ය ශිෂ්‍යාවක් දූෂණය කරලා මරපු වෙලාවේ තාත්තා තමයි දුවගේ සැබෑ නම හෙළි කරන්නේ මාධ්‍ය නෙවෙයි. ලංකාවේ එහෙමද? මියගිය මිනිස්සු විකුර්ති වුණ මිනිස් සිරුරු පෙන්වනවා, ලෝකයේ පිළිගත්ත ජනමාධ්‍ය ආචාර ධර්මවලට අනුව වින්දිතයා නිරාවරණය කරන්න එපා වින්දිතයාගේ ආශ්‍රිතයන් නිරාවරණය කරන්න එපා කියලා තමයි කියන්නේ. ජන මාධ්‍ය ආචාර ධර්මවල එක තැනක තියෙනවා කිසිම තැනක කැමරාවක් හෝ මයික් එකක් ඉදිරියේ මිනිහෙක් අඬවන්න එපා කියලා. මේවා එක්ක අපේ මාධ්‍ය භාවිතාවන් ගැන හිතලා බලන්නකෝ.

Social Sharing
නවතම පින්තූර ගැලරිය සාකච්ඡා