ප්‍රජාතන්ත්‍රවාදයේ ආලෝකය වෙනුවෙන් එකමුතු විය හැකිද?

46 වන ඇමරිකානු ජාන්ධිපතිවරයා ලෙස ජෝසෆ් ආර් බයිඩන් ගේ දිවුරුම් දිම C-SPAN හරහා නැරඹුුවෙමි. තම මංගල කතාවේදී ම, ජනාධිපති බයිඩන් අවධාරණය කළ කරුණ වුයේ, එකමුතුකම හැර වෙනත් කිසිදු විකල්පයක් ව්‍යවසන මතින් නැගී සිටීමට ඇමරිකා එක්සත් ජනපදයට නොමැති බවය. එසේම වර්තමාන මාරාන්තික වසංගතයක් ද, එය සමඟ බැදෙන ජිවිත අවධානම, රැකියා අහිමිවීම, ව්‍යාපාර වසා දැමීම  පිලිබඳ හොදින් තමන් දන්නා අතර එම සියලු බිඳ වැටීම් තුලින් නැවත නැගී සිටීම වෙනුවෙන් විනීතව, අනෙකාව ඉවසා දරා ගැනීම අවශ්‍ය අතර බෙදා වෙන්වීම නොව එක්ව නැගිසිටීමේ පදනම සැදිය යුතු බවද පැවසිය. එසේම, සියලුම ඇමරිකානුවන්ගේ ජනාධිපතිවරයා ලෙස, දේශය නැවත  ප්‍රජාතන්ත්‍රවාදය වෙත රැගෙන යාම වෙනුවෙන් ක්‍රියාවෙන් කටයුතු කරන බවට ද පොරොන්දු විය.

ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති සහ උප ජනාධිපති යනු අදුරේ වූ ඇමරිකා එක්සත් ජනපදය වෙත ආලෝක සපයන තාරුකා ද යන්න විමර්ශනය කිරීමට යම් කාලයක් ඔවුන්ගේ පාලන ක්‍රියාවලිය වෙත ලබාදීමෙන් පසුව තීරණය කල හැකිය. මෙම ලිපිය මගින් අවධානය යොමු වන්නේ නිදහස් ඇමරිකාවේ ප්‍රථම කළු සහ ආසියාතික උප ජනාධිපති ස්ත්‍රීය ගේ ආලෝකය ශ්‍රී ලංකාවේ ස්ත්‍රීවාදී ව්‍යාපරයට වැදගත් වේද යන්න විමර්ශනය වෙනුවෙනි.

බයිඩන්ගේ ජාතිය ආමන්ත්‍රණයේ දී උපුටා ගත් එක් කරුණක්  සමඟ මෙම සාකච්ඡාවේ ප්‍රවේශය සැකසීමට මා රුචිවේ. එනම් 1863 දී ඒබ්‍රහම් ලින්කන් ශ්‍රේෂ්ට ජනාධිපතිවරයා විසින් ප්‍රසිද්ධ කළ, විමුක්ති ප්‍රකාශනය වේ. ඇමරිකානු භුමියේ සංගමික රජයන් අතර වූ යුද්ධය හෙලා දකිමින් වූ මෙම ප්‍රකාශනයේ දී දක්වන ප්‍රධාන විෂයක් වන්නේ ” කැරලිකාර තම භුමියේ වහලුන් ලෙස රඳවා තිබෙන ජනතාව මුදා නිදහස් කළ යුතු බවය”

( https://www.archives.gov/exhibits/featured-documents/emancipation-proclamation#:~:text=President%20Abraham%20Lincoln%20issued%20the,and%20henceforward%20shall%20be%20free.%22 )

වහලුන් ලෙස නුතනයේ දී හමුවන්නේ මිත්‍යාව කේන්ද්‍ර කරගත් පාලන යාන්ත්‍රණය උත්කර්ෂයට නංවන පිරිස් පමණක් නොවේ.  පුරුෂ ලිඟුව හේතුවෙන් සමාජයෙන් පවරන ලද බලය මත භ්‍රමණය වූ පිතෘ මුලික පාලනය කළ වහලුන් ලෙස හැසිරෙන ස්ත්‍රී මෙන්ම පුරුෂ චරිත ද වේ.

මෙම ස්ත්‍රී චරිත, මාස් ශුද්ධිය වෙනුවෙන් සනීපාරක්ෂක තුවා බෙදා දීමට විරෝධය පළ කලේ එවැනි ක්‍රියා තම අභිමානයට කැළලක් බව, මාධ්‍ය සාකච්චා පවත්වමින් පවසමිනි. එසේම මෙම කොටසට අයත්ව වන පිරිමි ශරීර තමා සමඟ යහනට වීමට නීතියෙන් ඉඩ ලබා දුන් ගැහැණිය ට මාස් සුද්ධිය වන බව නොදන්නා බවත්, එම නොදැනීම උත්තම පුරුෂත්වයේ ලක්ෂණයක් බවත් පැවසිය. මේවා පුනරුක්ත කළ යුත්තේ, ශ්‍රී ලංකාවේ ස්ත්‍රී ව්‍යාපාරය ට ප්‍රධාන ධාරාවේ ලබා දී තිබෙන දෙවන පෙළ පෙන්වා දීම වෙනුවෙනි .

මෙය ශ්‍රී ලංකාවේ මේ මොහොතේ පවතින ප්‍රධාන දේශපාලන ධාරාව නැවත කියවීමට මඟ පෙන්වයි.  ජනාධිපති සහිත විධායකය නියෝජනය කරනුයේ නිමුඩු පීතෘ මුලිකත්වයක් පමණි. එය යලි යලිත් තහවුරු වන්නේ “අප්පච්චි” වැනි භාවිතා හරහා පමණක් නොව මාරාන්තික ව්‍යසනයක් අවස්ථාවේ දී ගෘහ අලංකරණය වෙනුවෙන් මිස සමස්ත වැඩකරන ජනතාවගේ අවශ්‍යතා පුර්ණය කිරීමට කටයුතු නොකිරීමෙනි. මෙය තේ දළු ශ්‍රමික කාණ්ඩයමෙන් පටන් ගනිමි. පොරොන්දු වූ  දෛනික රුපියල් 1000 වේතනය ගෙවීමට පිතෘ මුලික ආණ්ඩුවට නොහැකි වී තිබේ. හුස්ම නතර වූ පසු දෙන තැබීමට විවිධ  නිවහන් හිමි ඇමතිවරයෙකු සිටිය ද ජිවත් වීමට මුලික අවශ්‍යතා සපුරා නොමැති මෙම තේ දළු කම්කරු ස්ත්‍රී සහ පුරුෂයන් වෙනුවෙන්, පවතින පුරුෂ මුලික ආණ්ඩුව කිසිදු සහනයක් ලබා නොදීම, මෙහි වන බලහත්කාර පුරුෂ බලය තව දුරටත් සනාථ කරයි .

මෙහිදී ද, තේ දළු නෙලන ස්ත්‍රීන්ගේ ශ්‍රමය දෙවන පෙළට සලකන අතර ඔවුන් ගේ ස්ත්‍රී ලිංගය හේතුවෙන් සම දෛනික වැටුප පවා අහිමි කර තිබේ. එසේම ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, ස්ත්‍රිය ලිංගික වස්තුවක් මිස, මානවයෙක් නොවන ලෙසට භාෂා භාවිතය ට මාධ්‍ය වෙත ඉඩ ලබා දීම, මැද පෙරදිග සංක්‍රමණික ස්ත්‍රිය, මාරාන්තික covid 19 වසංගතය තුල දී විවිධ සූරා කෑමට ලක් කිරීම සහ ඔවුන් අනාරක්ෂිතව මාතෘ භූමියෙන් පිටත් රඳවා තැබීමට ඉඩ සැලසීම  මගින් ද මෙම පුරුෂ ලිංගික බලහත්කරනයේ ආයතනගත වීම හඳුනා ගත හැකිය.

එසේම එදිනෙදා සිදුවන ලිංගික, ශාරීරික සහ වාචික හිංසන, නිතිය ඉදිරියේ සමානාත්මතාවය නොලැබීම යනු ප්‍රධාන දේශපාලන ධාරාවේ වන පිතෘ මුලික බලහත්කරණයෙන් ගේ ප්‍රතිපල වන අතර ශ්‍රී ලංකාවේ ස්ත්‍රීවාදී ව්‍යාපාර මගින් සිදු වන්නේ මෙම රාජ්‍ය අනුග්‍රහය සහිත ප්‍රචණ්ඩත්වයන්ට එදිරි වීමය.

එසේම පිතෘමුලික දේශපාලන ප්‍රවාහය තුල ස්ත්‍රී නියෝජනය ද දේශපාලන සහභාගිත්වය ද අභියෝගකාරී වී තිබේ. නිදසුනක් ලෙස අදටත්  අතුරුදහන් වූ ආදරණියන් සොයන ස්ත්‍රී මුලික ව්‍යාපාරයට සාධාරණයක් වී නොමැත.  දකුණේ හෝ උතුරේ විමුක්ති  ව්‍යාපාරයන් ගේ සාමාජිකත්වය හේතුවෙන් දුෂණයට ලක්ව මරා දැමුණු ස්ත්‍රීන් ට කිසිදු ආණ්ඩුවකින්  ධාර්මිෂ්ටත්වයක් හිමි නොවීමද මෙම පිතෘ මුලික ආණ්ඩුකරණ බලයේම එක් අවස්ථාවකි.

මෙම සියලු කරුණු මත හදුනාගත හැකි පොදු ලක්ෂණය නම්, ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන ධාරාව පිතෘ මුලික බලයේ පීඩන උපකරණයක් වන අතර එහි හිමිකම පවතින්නේ එම පිතෘ මූලික බලය පිළිගනු ලබන ස්ත්‍රීන්ට සහ පුරුෂයන්ට පමණකි. උදාරහණයක් ලෙස නින්දගම් ක්‍රමය යටතේ පාලන බලය හුවමාරුවන පරිසරයක, පවුල, ඥාති අනුග්‍රහය, කුලය සහ පංතිය යන හේතුකාරක මත දේශපාලන නියෝජනය සහ සහභාගිත්වය නිෂ්පාදනය කරන මාධ්‍යන්ගේ බලය තීරණය වී ඇත. මෙම බලයේහි හිමිකම අභියෝග කිරීම වෙනුවෙන් ස්ත්‍රී ව්‍යාපාර නිරන්තරයෙන්ම කටයුතු කරනු ලැබේ. නමුත් ගැටලුව වන්නේ එම ව්‍යාපාරයන් ගේ බලයද නැවත එක් කණ්ඩායමක් වෙත ගොඩ නැගීමය. ශ්‍රී ලංකාවේ ස්ත්‍රීවාදී ව්‍යාපාර බිදවැටීමේ මුලිකම හේතු සාධය වන්නේ මෙම තත්වය වේ .

ප්‍රධාන දේශපාලන ධාරාව විසින්, ස්ත්‍රීය නිර්ප්‍රභූ, යටත්කරණය වූ, වස්තුවක් ලෙස සලකා කටයුතු කරන විට එයට විරුද්ධ වන ස්ත්‍රී හඬ නැගෙන නමුත් එය විකල්ප තලයක ප්‍රකාශනය වීමේ බලය නැවත හිමි වී ඇත්තේ ද, විකල්ප දේශපාලනයේ සිටින පුරුෂෝත්තම කණ්ඩායමක් වෙතය. විකල්ප දේශපාලන ධාරාව තුළ තම හඬ, තමා විසින්ම සංනිවේදනය කිරීමට නම් ස්ත්‍රීන්, ප්‍රධාන දේශපාලන ධාරාවේ දී මෙන්ම විවිධ ගිවිසගැනීම් වෙත ප්‍රවේශවීමට සිදු වී තිබේ. එවිට ඇයට ප්රධාන ධාරාවේ දී මෙන්ම විකල්ප ධාරාවේ දී ද, තමන්ගේ හඬ තමා විසින් ම නියෝජින කිරීමට නොව එය, බලය සහිත කණ්ඩායමක් වෙත පැවරීමට හෝ බලය සහිත කණ්ඩායම සමඟ සමඟි සන්ධානයකට එලබීමෙන් තම හඬ ඉදිරියට රැගෙන ඒමට සිදු වී ඇත. එවැනි පරිසරයක ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මක් වේද? එක් පසකින් ප්‍රධාන ධාරාවේ පුරුෂ මූලික බලයද අනෙක් පසින් විකල්ප ධාරාවේ පුරුෂ මුලික සිනි තවරන ලද සන්ධාන ද හේතුවෙන් ස්ත්රිය  දේශපාලනිකව අපයෝජනය වී, එකී දේශපාලන ධාරා දෙක තුලම ඇයව වහලෙකු බවට බලහත්කාරයෙන් පත්කර තිබේ.

එවැනි සන්දර්භයක ස්ත්‍රිය එකමුතු වන්නේ කා සමඟ ද? ඇය  මාරාන්තික covid 19 ව්‍යසනය, සමාජ සුරකිශිතාව නොමැති, යැපීමට බලකරන, තම ශ්‍රමය වෙනුවෙන් හිමිවිය යුතු වටිනාකම අහිමි කර තිබෙන පරිසරයක, ඇය, නිදහස, ප්‍රජාතන්තවාදය වෙනුවෙන් එක්වන්නේ කා සමඟද ?

ඇමරිකා එක්සත් ජනපදයේ ආසියානු – අප්‍රීකානු සම්භවය සහිත ස්ත්‍රියක්, උප ජනාධිපති ලෙස පත්වීම යනු එරට දීර්ඝ කාලින් සමාජ විපලවයන් ගේ ප්‍රතිපලයකි. එකම දෙය නම්, එම ප්‍රථිපල හී හිමිකම එකම පුද්ගල කණ්ඩායමක් වෙත කේන්ද්‍ර නොවීමය.  එහෙත් ශ්‍රී ලංකාව එවැනි හිමිකම අතහැරීමට රිසියෙන් සකසන ප්‍රගතිශීලි සාමාජ ව්‍යාපාරයන් ගේ නායකත්වයන්ගෙන් බොහෝ ඈත සිටි.

– අරුණි සමරකෝන්

Social Sharing
නවතම විශේෂාංග