මහර බන්ධනාගාර සිද්ධියේ අතුරු වාර්තාව අධිකරණ අමාත්‍යාංශයට.

කොවිඩ් 19 වෛරසයේ දෙවන රැල්ල බන්ධනාගාරය තුළ ව්‍යාප්ත වන විට බන්ධනාගාර තුළ සිරකරුවන් 32200 ක් සිටි නමුත් පෙරේදා (05)  වන විට එය සිරකරුවන් 26364 ක් දක්වා අඩු කිරීමට හැකි වූ බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා පවසයි.

ඔහු මේ බව පැවසුයේ මහර බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධිය පිළිබදව සොයා බලා වාර්තා කිරීමට පත් කළ කමිටුවේ අතුරු වාර්තාව අද (07) දින ලැබුණු අවස්ථාවේදීය.

පසුගියදා මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය පිළිබදව සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා විසින් පත් කළ කමිටුවේ අතුරු වාර්තාව එම කමිටුව විසින් අද පස්වරුවේ (07) අධිකරණ ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා වෙත භාරදීම සිදු විය.

කමිටුවේ සභාපතිනි හිටපු මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය විසින් අදාළ අතුරු වාර්තාව අමාත්‍යතුමා වෙත භාරදීම සිදු කළ අතර මෙම අවස්ථාවට බන්ධනාගාර හා සිරකරුවන් පුනරුත්ථාපන අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සහ කමිටුවේ සාමාජිකයින් වන ජනාධිපති නීතිඥ යු.ආර්.ද සිල්වා අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රෝහන හපුගස්වත්ත හිටපු බන්ධනාගාර කොමසාරිස් ගාමිණි ජයසිංහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩී.ආර්.එල් රණවීර යන මහත්වරුන්ද සහභාගි විය.

අදාළ කමිටුව පුර්ණ වාර්තාවක් මසක් තුළ ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

එහිදී අදහස් දක්වමින් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා මෙසේ සදහන් කළේය.

“මෙම සිද්ධිය පිළිබදව පරීක්ෂණ කිහිපයක් සිදු වෙනවා.අමාත්‍යාංශය වශයෙන් අපි පරීක්ෂණ මණ්ඩලයක් පත් කළා. අපි මේ පිළිබදව පුර්ණ වාර්තාවක් ඉල්ලුවා. මේ වගේ සිද්ධි ඉදිරියේදී සිදු නොවීමට අපි කටයුතු කළ යුතුයි. මේ පිළිබදව පාර්ලිමේන්තුවට අපි වාර්තා කළ යුතුයි. කොවිඩ් 19 වෛරසයේ දෙවන රැල්ල බන්ධනාගාරය තුළ ව්‍යාප්ත වූ පසු 2020 ඔක්තෝම්බර් 12 දින වන විට බන්ධනාගාර තුළ සිරකරුවන් 32200 ක් හිටියා.

නමුත් 2020.12.05 වන විට එය සිරකරුවන් 26364 ක් දක්වා අඩු කර තිබෙනවා. දින කිහිපයක් තුළ 6000 ක් අපි නිදහස් කර තිබෙනවා. සමස්ත බන්ධනාගාර පද්ධතිය තුළ පවතින ක්‍රමවේදය පිළිබදව සලකා බැලිය යුතුයි. මත් ද්‍රව්‍ය වලට යොමු වුවන් පුනරුත්ථාපනය කිරීම අපේ අරමුණයි. සමස්ත බන්ධනාගාර පද්ධතියම යහපත් කිරීම සිදු කළ යුතුයි.

සිරකඳවුරු වෙනුවට පුනරුත්ථාපන කදවුරු ඇති කර විශේෂයෙන් මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අය ඒ තුළින් මුදවා ගැනීම සිදු කළ යුතු වෙනවා. ඔවුන් පුනරුත්ථාපනය කර සමාජ ගත කළ යුතුයි” යැයි ද පැවසීය.

-ශානිකා-

Social Sharing
නවතම