මාධ්‍යවේදීන්ට උසස් අධ්‍යාපන ආයතනයක්?

එදා කිහිප දෙනෙකුට සීමා වී  තිබු මාධ්‍ය වෘත්තිය අද වන විට ලෝකයේ බොහෝ අයට විවෘතව ඇත. එමෙන්ම මාධ්‍ය ක්ෂේත්‍රය වෙත පැමිණෙන සංඛ්‍යාවද ඉහළ යමින් ඇත. එහෙත් තවමත් මාධ්‍යවේදීන්ට මාධ්‍යකරණය ගැන නිසි අධ්‍යාපනයක් ලබා දීමට රජයේ ක්‍රමවේදයක් නැත.

මේ නිසා මාධ්‍ය ක්ෂේත්‍රයට පැමිණෙන බොහෝ දෙනා පුද්ගලික මුදල් ගෙවා ජනමාධ්‍ය පාසල් වල හෝ විශ්ව විද්‍යාල වල පවතින ජනමාධ්‍ය පාඨමාලා හදාරනු ලබයි. නමුත් මේ කිසිවෙක් අධ්‍යාපනය නොලද අයද අද මාධ්‍ය ක්ෂේත්‍රයේ සිටියි.

සරලව පැවසුවහොත් අද මාධ්‍ය ක්ෂේත්‍රයේ මාධ්‍ය ගැන මෙලෝ හසරක් නොදන්නා පුද්ගලයින් නිසා මේ ක්ෂේත්‍රය ජඩ මාධ්‍ය ක්ෂේත්‍රයක් වෙමින් ඇත.

මේ පිලිබඳ මාධ්‍ය සංවිධාන කිහිපයක්ම වරින්වර බලයට පත් වු රජයන් සමඟ, ජනමාධ්‍ය අමාත්‍යවරුන් සමඟ සාකච්ඡා කළද සාර්ථක විසඳුමක් ලැබුනේ නැත.

මේ අතර වත්මන් ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ පිලිබඳ අවධානය යොමු කර ඇත.

ඒ නවීන ලෝකයට මුහුණ දියහැකි වෘත්තීය නිපුණතාවන්ගෙන් පරිපූර්ණ මාධ්‍ය වෘත්තිකයන් බිහි කිරීම සඳහා වන මාධ්‍ය අධ්‍යන ආයතනයක් ඉදිරි මාස කිහිපය තුළ ස්ථාපිත කිරීමටය.

රට හදන සෞභාග්‍යයේ දැක්මෙහි සඳහන් ආකාරයට ඉහළ නිපුණතා සහිත මාධ්‍ය වෘත්තිකයන් බිහි කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව රාජ්‍ය අනුග්‍රහය සහිත ජනමාධ්‍ය උසස් අධ්‍යාපන ආයතනයක් පිහිටුවීම යටතේ මෙම අධ්‍යයන ආයතනය ස්ථාපිත කෙරෙන බව ජනමාධ්‍ය අමාත්‍යාශය පවසයි.

ශ්‍රී ලංකා පදනම් ආයතනය කේන්ද්‍රකරගෙන මෙහි මූලික වැඩපිළිවෙළ ආරම්භ කෙරෙන අතර ඒ අනුව 2021/2022 වසර සඳහා පාඨමාලා ආරම්භ කිරීම සිදු කෙරේ. මුද්‍රිත විද්‍යුත් හා සමාජ මාධ්‍ය ඇතුළු සියලු මාධ්‍ය ආවරණය වන සේ මාධ්‍යවේදීන් පුහුණු කිරීමේ ආයතනයක් ලෙස මෙය ස්ථාපිත කිරීමට යෝජනා වී තිබේ.

රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ආයතනයන්හි මාධ්‍යවේදීන්ට සමාන ලෙස තම වෘත්තීය දැනුම වර්ධනය කර ගත හැකි ස්වාධීන ආයතනයක් ලෙස මෙය සකස්විය යුතු බවට ඒ සඳහා වන යෝජනා අතර වේ.

මාධ්‍ය ක්ෂේත්‍රයට අලුතින් ඇතුළු වන ආධුනිකයන්ටද දැනුම සඳහා ප්‍රවේශයක් තිබිය යුතු බවත් ඒ සඳහා න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණුව ලබාදෙන ජනමාධ්‍ය උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස මෙය පිහිටුවීමට යෝජනා වී තිබේ. 2023 වන විට මෙය ස්වාධීන ආයතනයක් ලෙස පාර්ලිමේන්තු පනතක් ඔස්සේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත .

මාධ්‍ය උපාධි අධ්‍යන ආයතනයක් මෙන්ම වරලත් ආයතනයක් ලෙස වෘත්තීය මාධ්‍ය ක්ෂේත්‍රයට නව පාඨමාලා හඳුන්වා දෙමින් නවීන ලෝකයට ගැළපෙන ලෙස මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන්නන් සඳහා පූර්ණ පුහුණුව මෙන්ම දැනුම ලබා දීම මෙමගින් අපේක්ෂා කෙරේ.

ලොව සාර්ථක වුණු මෙවැනි ආයතන පිළිබඳව පසු විපරමක් කර එමගින් ඉදිරියට යන වැඩපිළිවෙළක් මේ තුළ සකස් කරගත යුතු බව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

මේ සම්බන්ධව ඊයේ (15) ජනමාධ්‍ය අමාත්‍යංශයේ දී ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් ද පවත්වා ඇත.

-ශානි-

Social Sharing
නවතම