සිරකරුවන්දෙස මානුෂීයව බලන්න. ජනපතිගෙන් බලධාරීන්ට උපදෙස් …

සිරකරුවන් දෙස මානුෂීයව අවධානය යොමු කර පවතින අඩු පාඩු විසඳා අවශ්‍ය පහසුකම් සැලසීමට කඩිනම් පියවර ගන්නැයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලධාරීන්ට උපදෙස් දෙයි.

බන්ධනාගාර තුළ පවතින අඩු පාඩු සහ ගැටළු විමර්ශනය කොට විසඳුම් නිර්දේශ කරනු පිණිස ඊයේ (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා බලධාරීන්ට එසේ උපදෙස් දී ඇත.

මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවීම නිසා 12,000කට අධික පිරිසක් සිරගතව සිටින හෙයින්  ඔවුන් කෙරෙහි විශේෂ අවධානය යොමු කර පුනරුත්ථාපන වැඩසටහනක් සකස් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා එහිදී අවධාරණය කර තිබේ.

බන්ධනාගාර ඇතුළත දැඩි තදබදය පිටුදැකීම පිණිස දැනට හඳුනාගෙන ඇති ස්ථානවල පෙර සවි ක්‍රමයට සිර ගෙවල් ඉදි කිරීමට ඇති හැකියාව සොයා බලන්නැයිද  ජනාධිපතිතුමා විසින් උපදෙස් දී ඇත.

විදෙස් රටවල සිර මැදිරිවල ආකෘති අධ්‍යයනය කර පහසුකම් සැලසීමට කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාව රාජපක්ෂ ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

රස පරීක්ෂක, නීතිපති සහ පොලිස් දෙපාර්තමේන්තුවල ප්‍රමාදයන් නිසා අතිවිශාල පිරිසක් රක්ෂිත බන්ධනාගාරතව සිටිති. රේගුව, පොලීසිය, බන්ධනාගාරය, පුනරුත්ථාපන ඇතුළු අදාළ ආයතන එකතුව ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපනය කර පවතින ගැටළු නිරාකරණයට පියවර ගත යුතු යැයි ද ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

අධිකරණ අමාත්‍ය එම්.යූ.එම්. අලි සබ්රි, බන්ධනාගාර පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු, අදාළ අමාත්‍යාංශ ලේකම්වරු සහ ආරක්ෂක අංශ ප්‍රධානීහූ සාකච්ඡාවට එක්ව සිටියහ.

In connection with prisons Gotabaya Rajapaksa

( ජනාධිපති මාධ්‍ය අංශය )

Social Sharing
නවතම