කොවිඩ් එන්නත පරක්කු වූවොත් ඉදිරියේදී දැඩි විවේචන – GMOA

කොවිඩ් වෛරසය වෙනුවෙන් මේ වන විට ලොව පුරා රටවල් ගණනාවක අලුනව එන්නත් නිපදවෙමින් ඇත. ඒ අතර ඇතැම් රටවල මේ වන විට එම එන්නත් රට වැසියන්ට ලබා දෙමින්ද සිටින්නේය. ලංකාවටද මේ කොවිඩ් වලට එරෙහි එන්නතක් ගෙන එන බව පවසා දැන් බොහෝ කල්ය. නමුත් තවමත් ලංකාවට මේ කිසිම එන්නතක් ලැබී නැත.

දිනෙන් දිනම ලංකාවේ ‌වාර්තා වන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවද ඉහළ යමින් ඇත. එවන් පසුබිමක මේ කොවිඩ් මර්ධන එන්නත ගෙන්වීමට රජය සුදානම් වුයේ ඉන්දියාවෙනි. නමුත් එම එන්නත බාලගිරි දෝෂයට හසුව ඇති සේයකි.

මේ අතර අද (21) දින කොළඹ පැවති මාධ්‍ය හමුවකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද මේ එන්නත ගැන කථා කළේය.

ඔවුන් කියා සිටින්නේ PCR ප්‍රමාණය වැඩි කිරීමට කළ ප්‍රමාදය මෙන් එන්නතටත් ප්‍රමාදයක් ඇති වුවහොත් එයට එරෙහිව ජනතා විරෝධයක් ඇතිවනු ඇති බවය. ඒ නිසා PCR පරීක්ෂණ වැඩි කිරීමට ප්‍රමාද වූවා සේ එන්නත ගෙන්වීම ප්‍රමාද නොකරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි.

එහි ලේකම් වෛද්‍ය ශනාල් ප්‍රනාන්දු මහතා පවසන්නේ PCR පරීක්ෂණ ප්‍රමාණය වැඩිකර ගැනීමටද දැඩි සටනක් කිරීමට සිදු වූ බවයි. පමා නොවී මෙම කටයුතු කිරීමට සෞඛ්‍ය අංශවල ඒවා භාරව සිටින අයට වගකීමක් ඇති බවයි ඔහු පෙන්වා දෙයි.

වැඩිදුරටත් ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ කියා සිටියේය.

”සුදුසු එන්නතක් තිබෙනවා නම් එම එන්නතේ ප්‍රතිඵල තිබෙනවා නම් ඒක ලෝක සෞඛ්‍ය සංවිධානය පවා අනුමත කර තිබෙනවා නම් රටක් ලෙස රජය කියනවා නම් ඒකට අවශ්‍ය මුදල් ටික දෙනවා ඒකට අවශ්‍ය පහසුකම් සලසනවා කියලා ඇයි පරක්කු වෙන්නේ කියන කාරණයේ ගැටළුවක් තිබෙනවා. ඒ නිසා මේක අනිවාර්යයෙන්ම පරක්කු නොවී කළ යුතුයි.

රජය මේකට උපදෙස් දුන්න දවස අපි දන්නවා. ජනාධිපතිතුමා කමිටුවක් පත්කළා ලලිත් වීරතුංග මහත්මයාගේ ප්‍රධානත්වයෙන් යුතුව. හැබැයි මේ එන්නත සම්බන්ධ කාරණයේදී පමාවක් වෙනවා නම් අපි ඒ සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මකව ඉදිරියේදී තොරතුරු හෙළි කිරීමට බලාපොරොත්තු වෙනවා.”

මේ අතර අද දිනයේ මේ ඉන්දියාවේ කොවිඩ් එන්නත ගැන තවත් පුවතක් වාර්තා විය. ඒ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත නිෂ්පාදනය කරන ඉන්දියාවේ Serum ආයතනයේ කම්හලක ගින්නක් හටගෙන තිබෙන බවය.

මෙම ආයතනය ලොව විශාලතම එන්නත් නිෂ්පාදන ආයතනය ලෙසද සැලකෙන අතර පූනේහී අක්කර 100 ක භූමිභාගයක මෙම කර්මාන්ත ශාලාව පිහිටා ඇත. ගින්නට හසුව තිබෙන්නේ අලුතෙන් ඉදිකරමින් තිබෙන ගොඩනැගිල්ලක් වන අතර බේරා ගැනීමේ කණ්ඩායම් මගින් ගොඩනැගිල්ලේ සිරවී සිටි පුද්ගලයන් තිදෙනෙකු බේරාගෙන තිබෙන බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

කෙසේ නමුත් එන්නත නිෂ්පාදනය කිරීමේ කටයුතුවලට මින් බාධාවක් සිදු නොවන බව එහි වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

Social Sharing
නවතම