රජය මානව හිමිකම් වලට බයයිද?

එක්සත් ජාතීන්ගේ ජිනීවා සමුලුව පැවැත්වීමට ආසන්න බැවින් මේ දිනවල ලංකාවේ දේශපාලන වේදිකා මතද කථා කරන්නේ ලංකාවේ  මානව හිමිකම් පිලිබඳවය.

විශේෂයෙන්ම මේ දිනවල ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරු මේ මානව හිමිකම් සම්බන්ධයෙන් දක්වන්නේ ඔවුන්ගේ නායකයා කිසිදිනෙකවත් ජීනිවා නොගිය පුද්ගලයෙකු හැටියට සිතාගෙනය.

එහෙත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට විරුද්ධව මහින්ද රාජපක්ෂ මහතා එදා ජිනීවා ගිය හැටි රටේ මිනිස්සුන්ට අමතක නැත.

නමුත් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඊයේ (04) නිදහස් දින ගොඩගමදී පවසා ඇත්තේ මානව හිමිකම් උල්ලංඝනය කළා යැයි රඟදක්වන නාටකය ආයෙමත් ජිනීවාහිදී දිග හැරීමට නියමිත බවත් මෙය ශ්‍රී ලංකාවට එරෙහි බටහිර රටවල් කිහිපයක දෙබිඩි භාවය හා නිරුවත හෙළි වීම යැයි යනුවෙනි.

“….බටහිර රටවල් කිහිපයක් මෙරට මෙරට මානව හිමිකම් උල්ලංඝනය වෙනවායැයි කියා ව්‍යාජ ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා. මේ අයම එකතු වෙලා එකතු වෙලා හදපු එක්සත් ජාතීන්ගේ සංවිධානයට යවපු වාර්තාවල සඳහන් වෙනවා LTTE ය යුද අපරාධවලට අපරාධ වලට සම්බන්ධයි කියලා. නමුත් ඒවා දාල තියෙන්නෙ අපට එරෙහිව හදන වාර්තාවලට සමබරතාවයක් තියෙනවා යැයි පෙන්වන්න විතරයි. කිසිම ක්‍රියාමාර්ගයක් නෑ.

යුද අපරාධ කරපු LTTE නායක ප්‍රභාකරන් නැමැති ත්‍රස්තවාදියා බේරගන්න ගත හැකි සියලූ උත්සාහයන් ගත්තෙත් මේ රටවල් කිහිපයම තමයි. එදා ඒ අරමුණ සාර්ථක වුණා නම් ප්‍රභාකරන් බේරුණා නම් අදටත් මේ රටේ යුද්ධය පවතිනවා. ශ්‍රී ලංකාවට දරාගත නොහැකි ජීවිත හා දේපළ හානි සිදුවෙනවා. දෙමළ ළමයි යුද්ධයට ළමා සොල්දාදුවන් විදිහට පැහැරගෙනයාම අදටත් ක්‍රියාත්මක වෙනවා. දේශපාලන ඝාතන, කප්පම් ගැනීම්, සිවිල් වැසියන් ඝාතනය වන එක අදටත් සිදුවෙනවා. බැරිවෙලාවත් එහෙම වුනානම් අදටත් ප්‍රභාකරන්ගේ යකඩ සපත්තුවට පෑගීලා තමයි උතුරු නැගෙනහිර ජනතාවට වගේම අපටත් ඉන්න සිදුවෙන්නේ.

මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැෂලේ තීරණයක් අරගෙන තියෙනවා ඒක පාර්ශවීයව ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කරන්න. ශ්‍රී ලංකාව පැත්තෙන් කියන ඒවා නොසලකා හරින්න කියලා. අප ඉදිරිපත් කරන සත්‍ය කරුණු වලට ඉඩක් නෑ. LTTE කරපු අපරාධ ගැන කතාවක් නැහැ. නැසබි සාමිවරයා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කරන මානව හිමිකම් උල්ලංඝනය කරපු කතා ඔක්කොම ගොතපු ඒවා බව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී කිව්වා. නමුත් බැෂලේ ඒවා නොසලකා හැරලා පවා තියෙනවා. ඔන්න මානව හිමිකම් කොමසාරිස් ලගේ දෙබිඩි පිළිවෙත…” යැයි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු වැඩිදුරටත් කියා සිටින්නේය.

මේ අතර පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා ද පහුගිය 03 දා මාධ්‍ය හමුවකදී කියා සිටියේ ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලය මෙවරත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කටයුතු කිරීමට සූදානම් වනුයේ ලජ්ජා සහගත මෙන්ම පිළිකුල්සහගත වැඩපිළිවෙලක් ඔස්සේ බවය.

උතුරේ ජනතාවට දැන් ඇත්තේ අයිතිවාසිකම් ගැන ප්‍රශ්නයක් නොව හැකි තරම් ඉක්මණින් කොවිඩ් වසංගතය පාලනය කර සංවර්ධනය අඛණ්ඩව  සිදුකරගෙන යාම බවද එහිදී ඔහු  කියා තිබුණි.

කොවිඩ් වසංගතය නිසා වසර අවසන් වන විට කෝටි ගණනක් ජනතාවට රැකියා අහිමි වන තත්ත්වයක් පවතින බවට එක්සත් ජාතීන්ගේ සංවිධානයම කියමින් හිඳින පසුබිමක එය මානව හිමිකම් කවුන්සිලයට ප්‍රශ්නයක් නොවේද යන්න පිළිබඳවද මන්ත්‍රීවරයා විමසන ලදී.

”ඉතාම සාමකාමීව, ප්‍රජාතන්ත්‍රවාදීව, නිහඬව උතුරේ කිසිම කලබලයක් නැති මේ වකවානුවේ මොකක්දෝ කාරණයක් ඇදගෙන හමුදා නිලධාරීන්ගේ පස්සේ එන්නේ, මේකද අද තියෙන ලොකුම මානව හිමිකම් ප්‍රශ්නය. අරන්තලාවේ භික්ෂුන් අමු අමුවේ ඝාතනය කරද්දී මේ කවුන්සිල් එක ඒක දැක්කේ නැද්ද?”

මාවිල්ආරුව වසා දමා පවුල් තිස්දහසක ජීවනෝපාය අහිමි කරද්දී එය මානව හිමිකම් කවුන්සිලය දැක්කේ නැද්ද?”

එදා හමුදා කඳවුරුවලට එමින් සිටි දෙමළ ජනතාවට වෙඩි තැබුවේ ප්‍රභාකරන්ගේ දුව, පුතා ඇතුලු කොටි සංවිධානය විසින්ම බවත් නමුත් අද උතුරේ ජනතාව ඔවුන් කළ අපරාධ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන්, යුද හමුදාපතිවරයාගෙන් විමසා සිටින බවද වැඩිදුරටත් කියා තිබුණි.

මැති ඇමතිවරුන් මෙසේ පවසද්දී එක්සත් ජාතීන්ගේ කාර්යාලය විසින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවෙමින් පවතින බවට පහුගියදා වාර්තාවක් නිකුත් කර තිබුණි. ඒ සම්බන්ධයෙන්ද විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙන්ම කැබිනට් අමාත්‍ය උදයගම්මමන්පිල මහතාද කියා තිබුණේ එහි තිබු තොරතුරු ප්‍රතික්ෂේප කරන බවකි.

ජිනීවා සමුලුව ආසන්නයේ රජය මේ ආකාරයෙන් කටයුතු කරමින් සිටින්නේ ඔවුන් මානව හිමිකම් සම්බන්ධයෙන් ඇති භිය නිසාද?

Social Sharing
නවතම