ඩිජිටල් අවකාශය තුළ මානව හිමිකම්.

මානව හිමිකම් යනු සියලු මිනිසුන්ට, ලිංගිකත්වය, ජාතිය, ජන වර්ගය, ආගම හෝ වෙනත් කිසිඳු සාධකයක් මත විශේෂීකරණයකට ලක් නොකොට සියලුම මානවයින්ට පොදුවේ මිනිසුන් වීම නිසාම හිමිවන අයීතිවාසිකම්ය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය හරහා ලෝකය පුරා විවිධ ජාතීන්ට අයත් මිනිසුන් වෙත අනිවාර්‍යයෙන්ම  හිමිවිය යුතු යැයි පොදු එකඟතාවක් ඇති කර ගත් මානව හිමිකම් වගන්ති තිහක් යටතේ ප්‍රකාශයට පත් කොට ඇත.

ඒ යටතේ ජීවත් වීමේ අයිතිය, ස්වාධීන මත දැරීම, සහ ප්‍රකාශනයේ නිදහස, පෞද්ගලිකත්වයට ඇති අයිතිය ආදී කරුණු රාශියක් ප්‍රමුඛ ලෙස දක්වා ඇත.

ලෝක‍යේ මෙතෙක් ඇති වූ බිහිසුණුම මානව ව්‍යසනයක් වූ දෙවන ලෝක යුද්ධයෙන් පසු බිහි වූ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය බිහි කර ගත් අතර එය ඇසුරු කර ගත් ජාත්‍යන්තරව සම්මත කර ගනු ලැබූ මානව හිමිකම් ගිවිසුම් සහ නීති මාලාවන් මෙම මානව හිමිකම් තවදුරටත් සුරක්ෂිත කරන ලදී.

මේ සියල්ල ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය යටතට ගැනේ. මෙම ගිවිසුම්වලට ශ්‍රී ලංකාව ඇතුළු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රාජ්‍යයන් බොහොමයක් අත්සන් තබා එකඟත්වය පළ කර ඇත.

අන්තර්ජාලයෙන් බැහැරව මිනිසුන් වෙත හිමිවී ඇති මෙම මානව හිමිකම් ඩිජිටල් අවකාශය තුළද ආරක්ෂා කිරීම ඩිජිටල් මානව හිමිකම් තුළින් අවධාරණය කරයි. මානව හිමිකම් සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය පදනම් කරගත් ගෝලීය රාමුව ඩිජිටල් හිමිකම් සම්බන්ධයෙන් ද අදාළ වේ.

නූතන ලෝකයේ ඩිජිටල්කරණය හරහා සයිබර් අවකාශය තුල දේශ සීමා අතික්‍රමණය කරමින් දත්ත හුවමාරු වීමට ඉඩ සලසයි. ඩිජිටල් මෙවලම් හා උපාංග මගින් අපගේ තොරතුරු, දත්ත රැස් කිරීම අන් කවරදාටත් වඩා පහසු කර ඇත.

මෙය මිනිසාගේ පෞද්ගලිකත්වයට සහ සෙසු මානව හිමිකම් වලට බලපෑම් කරන අවස්ථා වර්තමාන ලෝකයේ සුලබව දැක ගත හැකිය. නමුත් මෙම නව යතාර්ථයන් පවත්නා මානව හිමිකම් නීති රාමුව යටතට පත් කිරීමේ ගැටලු ද පවතී.

එහෙයින් මේ සඳහා යාවත්කාලීන කරන ලද නව නීතී රීතීන්හි අවශ්‍යතාවය ඇතැමෙක් අවධාරණය කරයි.  මෙවැනි තත්ත්වයක් තුළ අන්තර්ජාලයෙන් බැහැරව මිනිසුන් වෙත හිමිවන අයිතිවාසිකම් අන්තර්ජාල අවකාශය තුළ රැක ගන්නේ කෙසේද යන්න විසි එක්වන සියවසේ මානව හිම්කම් ක්ෂේත්‍රයට අදාල ප්‍රබල අභියෝගයකි.

අද වන විට සංවර්ධිත රටවල මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල ද අන්තර්ජාල ප්‍රවේශය පරිහරණය කරන්නන්ගේ සංඛ්‍යාව වර්ධනය වෙමින් පවතී. සංඛ්‍යාත්මකව පැවසුවහොත් වර්තමානයේ බිලියන 4ක් එනම් ලෝක ජනගහනයෙන් අඩකට වඩා1 විවිධ අවශ්‍යතා උදෙසා අන්තර්ජාල ප්‍රවේශය පරිහරණය කරයි.

90 දශකයේ බොහෝ පරිශීලකයින් අන්තර්ජාලය භාවිතා කරන ලද්දේ වෙබ් අඩවි තුළ සෙවීමට, අන්තර්ජාලයෙන් බාගත කිරීමට, ඊ-තැපෑල ආදී ක්‍රමවේද හරහා පණිවිඩ හුවමාරු කිරීම ආදියට ය. නමුත් සමාජ මාධ්‍ය කරලියට පැමිණීමත් සමග පෙර පැවති අන්තර්ජාලය පරිශීලනයේ ස්වභාවය පුළුල් පරිවර්තනයකට ලක්ව තිබේ.

මේත් සමගින් ඩිජිටල්කරණය හමුවේ ලෝකවාසීන් මුහුණ දෙන තාක්ශණික අභියෝග ද වෙනස් මුහුණුවරක් ගෙන ඇත.

අන්තර්ජාල අවකාශය භාවිතා කිරීමේදී නිදහස්ව අදහස් ප්‍රකාශ කිරීමට, මතවාද ප්‍රචාරණය කිරීමට, දේශ සීමා අබිභවා යමින් තොරතුරු බෙදා ගැනීමට සහ පරිහරණය කිරීමට කොතරම් ඉඩක් හිමි වනවාද යනාදී කරුණු ඩිජිටල් හිමිකම් සම්බන්ධයෙන් ඉතා වැදගත් වේ.

ඒ අනුව බලන විට අන්තර්ජාල අවකාශය පුද්ගලික සන්නිවේදනය, අදහස්  ප්‍රකාශනය, තොරතුරු ප්‍රසිද්ධ කිරීම සහ බෙදා ගැනීම වැනි අයිතීන් සඳහා ප්‍රබල වේදිකාවක් සපයයි. වර්තමානයේ පොදු වෙබ් අඩවි ෆේස්බුක් ට්විටර් වැනි සමාජ ජාලා සහ යූ ටියුබ් වැනි මාධ්‍ය තුළින් ගෝලීය ව තම අදහස් මතවාද ප්‍රචාරණයට අවස්ථා සලසා ගත හැකිය.

මේවා බොහොමයක සාමාජිකත්වය ගාස්තු රහිතව ලබා ගත හැකිය. විශේෂ යෙන්ම සමාජ මාධ්‍යය භාවිතය ප්‍රචලිත වීම තුළ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරීන්ට බලමුළු ගැන්විය හැකි දේශපාලන, සමාජ සහ ආර්ථික ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටිය හැකි සක්‍රීය අවකාශයක් නිර්මාණය වී තිබේ.

එය විශේෂයෙන්ම විකල්ප මතවාද වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් සඳහා වැදගත් වේ. මේ හරහා ප්‍රධාන ධාරාවේ මාධ්‍ය අවධානයට ලක් නොකරන හෝ සිතාමතා වාරණය කරනු ලබන විවිධ මාතෘකාවන් පිළිබඳ පුළුල් සංවාදයක් ඇති කිරීමට විකල්ප අවකාශයක් නිර්මාණය වී ඇත.

කෙසේ වෙතත් ප්‍රකාශනයේ නිදහස සදහා ද අප භුක්ති විඳින වෙනත් ඕනෑම අයිතිවාසිකමකට මෙන් සීමාවන් පවතී. එම සීමාවන් ඩිජිටල් අවකාශයට ද අදාළය.

අන්තර්ජාල අවකාශය මුල්කාලීනව නිර්මාණය වූයේ විවෘත නිදහස්කාමී ප්‍රවේශයක් වෙනුවෙනි. නමුත් එය දිනෙන් දින පුළුල් වෙමින් සංකීර්ණ තත්වයන් නිර්මානය කරන විට එහි යම් පාලනයක් අවශ්‍ය වන බවට මතයන් ඉදිරිපත් විය. අන්තර්ජාල නිදහස සහ එහි සාධාරණ සීමා මොනවා ද? යන්න අද දක්වාම නොවිසදුනු විවාදයකි.

අන්තර්ජාල අවකාශය භාවිතයෙහි පවතින තර්ජන ද අප හඳුනාගත යුතුය. එහිදී අන්තර්ජාල ප්‍රවේශ සීමා කිරීම, වෙබ් අඩවි වාරණය, තර්ජන, බියවැද්දීම්, සිරගත කිරීම් මෙන්ම පොදුවේ සමාජ ජාලා භාවිතය තහනම් කරමින් හෝ සීමා කරමින් ගෙන යන නීති රීති තුළින් රජයන් මෙම අයිතිවාසිකම් කෙරෙහි බාධා පමුණුවයි.

මූලාශ්‍රය; https://freedomhouse.org/explore-the-map?type=fotn&year=2020

ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමක් වන freedom house සිය නවතම නිරීක්ෂණ වාර්තාවේ මෙසේ සඳහන් කරයි.

“කොවිඩ් 19 වසංගත කාල පරිච්ඡේදය තුළ අන්තර්ජාල සබඳතාවය තවදුරටත් පහසුකමක් නොව අවශ්‍යතාවයකි. පෙනෙන ආකාරයට වාණිජ, අධ්‍යාපන, සෞඛ්‍ය සේවා, දේශපාලන, සමාජානුයෝජන ආදී බොහෝ මානව ක්‍රියාකාරකම් පවත්වා ගනු ලබන්නේ මාර්ගගතව ය. නමුත් ඩිජිටල්කරණය මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සඳහා පැහැදිලි අභියෝග එල්ල කරයි.” 3

එම වාර්තාව අනුව අන්තර්ජාල නිදහස කෙරෙහි බලපා ඇති ප්‍රවණතාවන් තුනක් හඳුනාගෙන ඇත.

පළමුවෙන් කොවිඩ් 19 වසංගත තත්ත්වයත් සමග දේශපාලන අධිකාරීන් විසින් ඇතැම් විට වසංගතය තොරතුරු ප්‍රවේශයන් සීමා කරන කඩතුරාවක් ලෙස භාවිතා කිරීම.

මෙහිදී ස්වාධීන වෙබ් අඩවි අවහිර කිරීම, අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමේ ව්‍යාජ චෝදනා එල්ල කරමින් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම.

දෙවනුව, බලධාරීන් COVID-19 හේතුව ලෙස දක්වමින්,විටෙක නව තාක්ෂණයන් පවා යොදවමින් අනවශ්‍ය ලෙස පුළුල් කරන ලද නිරීක්ෂණ බලතල සාධාරණීකරණය කිරීම.

තුන්වනුව නව තත්ත්වය හේතුකොටගෙන පරිශීලකයින් ආරක්ෂා කරනවා වෙනුවට සෑම රජයක්ම ජාතික දේශසීමා හරහා තොරතුරු ගලායාම සීමා කරන අයුරින් තමන්ගේම අන්තර්ජාල රෙගුලාසි පනවා ඇති අතර ඒ තුළින් ජාතික ස්වෛරීභාවය හුවා දක්වමින් ගෝලීය වශයෙන් පවතින අන්තර්ජාල සබඳතා ,තොරතුරු හුවමාරු කපා හැරීමට කටයුතු කිරීම.

අන්තර්ජාලය ගෝලීය පොදු අවකාශයකි. එහි ප්‍රවේශය සඳහා සැමට සමාන අයිතියක් පවතී. නමුත් ගෝලීයකරණය තුළ නිරන්තරයෙන් දක්නට ලැබෙන ආකාරයට මෙහිදී ද අන්තර්ජාලය ප්‍රවේශයට පවතින සීමා සමාජ ආර්ථික විෂමතා තව දුරටත් ප්‍රකට කරයි.

බොහෝ විට පොදු අවකාශයන් තුළ පවතින පුරුෂ මූලික තත්ත්වයත් කාන්තාවන් එවැනි දේට මැදිහත් වීම සිතාමතාම අධෛර්යමත් කිරීමක් නිසා කාන්තාවන් මෙම පොදු අවකාශයන් තුළ මැදිහත් වන්නේ සුළු වශයෙනි.

අන්තර්ජාල අවකාශයට ද මෙම තත්වය පොදුය. අනෙක් අතට මෙහිදී පුරුෂයන්ට එල්ල නොවන ආකාරයේ විවිධ හිංසනයන්ට පීඩනයන්ට මුහුණ දීමට කාන්තාවන්ට සිදුවේ.

දිනෙන් දින පුළුල් වන අන්තර්ජාල භාවිතය තුළ පෞද්ගලිකත්වය පිළිබඳ අයිතිය තහවුරු කිරීමේ අභියෝග ද මතුව ඇත.

ඩිජිටල් අවකාශය තුළ විවිධ අරමුණු වෙනුවෙන් මහා පරිමාණයෙන් තොරතුරු හුවමාරු කර ගැනීමේදී, සීමාරහිතව හුවමාරු වන තොරතුරු; අනවසර පිරික්සුම්, දත්ත උකහා ගැනීම්  වැනි අවභාවිතයන්ට ලක්වීමේ අවදානමක් පවතී.

මෙහිදී වි‌ශේෂයෙන් අපගේ පෞද්ගලික තොරතුරු අනාවරණය වීමේ වැඩි ඉඩකඩක් පවතී.

පෞද්ගලික තොරතුරු යන්නට අපගේ බැංකු ගිණුම්, ක්‍රෙඩිට්කාඩ් අංක වැනි මූල්‍ය තොරතුරු, පවුලේ සහ සමීපතමයින්ගේ තොරතුරු,  මිලදී ගැනීම පිළිබඳ තොරතුරු, පුද්ගලික සෞඛ්‍ය පිළිබඳ තොරතුරු වැනි ඉතා සංවේදී දත්ත පවා ඇතුළත්ය.

මෙසේ ලබාගන්නා තොරතුරු වාණිජ හෝ දේශපාලන අරමුණු වෙනුවෙන් මෙන්ම වෙනත් ඕනෑම කටයුත්තක් සඳහා භාවිතා කරනවා විය හැකිය. අප විසින් අන්තර්ජාලයට යම් තොරතුරක් මුදා හැරීමේදී අපගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් අප වෙතද වගකීමක් ඇත.

මානව හිමිකම් සුරැකීම අද දවසේ ගෝලීය වශයෙන් පුළුල් අවධානය දිනාගත් මාතෘකාවකි.

ඩිජිටල් අවකාශය තුළ ප්‍රවේශය ඇත්තේ කා හටද? එම අවකාශය තුල අදහස් නිදහසේ ප්‍රකාශ කළ හැකි ද? එහි පවතින බාධක අභියෝග මොනවාද? අන්තර්ගතයක් නිර්මාණය කරන්නේ, බෙදාහරින්නේ කවුද? එම අන්තර්ගතයක් කොතරම් දුරට ඇතුලත් කර ගන්නා සුළු ද? අන්තර්ජාල අවකාශය තුළ පවතින අවස්ථාවන් සඳහා සෑම අයකුටම සමාන ප්‍රවේශයක් පවතීද? යන කරැණු ඩිජිටල් අවකාශයේ මානව හිමිකම් සම්බන්ධයෙන් ඉතා වැදගත් වේ.

එකී මානව හිමිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් ගෝලීය දායකත්වය ලබාදෙන රාජ්‍යයන්, සංවිධාන සහ ක්‍රියාකාරී කණ්ඩායම් යන සියල්ලෝම විසි එක්වන සියවසේ ඩිජිටල් යුගයක මානව හිමිකම් තහවුරු කිරීමේ සහ ආරක්ෂා කිරීමේ රාමුව පිළිබඳ යළි සලකා බැලීම් අත්‍යවශ්‍ය වේ.

Social Sharing
නවතම විශේෂාංග