මේ අලි මිනිස් ගැටුම ඉර හඳ තියෙන තාක්කල් ම ඉවර වෙන්නෙ නෑ – බලහරුවේ සිරිසුමන හිමි

අපේ හාමුදුරුවෝ දැන් දීර්ඝ කාලයක් තිස්සේ මේ අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා සටන් කරනවා. මේ පිළිබඳව ඔබ වහන්සේගේ අදහස කුමක්ද ?

මෙම අලි මිනිස් ගැටුම නතර කිරීමට විසඳුමක් විදිහට ප්‍රථමයෙන් ම ගෙනාවේ අලි වෙඩිල්ල, ඒක අසාර්ථක වුණා වුණා. ඊට පස්සේ ගෙනාවා අගල් කැපීම එයත් අසාර්ථක වනවිට තමයි විදුලි වැට ගෙනාවේ. මේ වෙනකොට පේන්න තියෙන දේ තමයි ඒකත් අසාර්ථක‍යි කියන දේ. මේ ප්‍රශ්නය ඉර හඳ තියෙන තාක්කල් ම ඉවර වෙන්නෙ නෑ. ඒ කියන්නේ මිනිස්සු ඉන්න තාක් කල් අලියෝ ඉන්න ඉන්න තාක් කල් මේ අලි මිනිස් ගැටුම දිගටම පවතිනවා.

මේකට හොඳම ක්‍රමයක් විදිහට මම යෝජනා කරන්නේ සියඹලා ගස් සිටුවීම. මේ ක්‍රමය නිසා පරිසරයටත් කිසිදු හානියක් වෙන්නෙ නෑ. ඒ වගේම තමයි ගොවියටත් හොඳයි. අවුරුදු පහලවක් විතර යනකොට සියඹලා ගස් රූස්ස විදිහට වැඩෙනවා, ඒ නිසා මේවා විනාශ කරන්න අලීන්ට බැරි වෙනවා. ඒ වගේම තමයි ගොවියන්ට හොඳ නිෂ්පාදනයක් කරගන්නත් පුළුවන් වෙනවා.

නමුත් මෙවැනි සාධනීය යෝජනා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපි අලිවැට පස්සෙම තමයි තවමත් යන්නේ. අලියා කියන්නේ හරිම බුද්ධිමත් සතෙක්, ඔහුට විදුලි වැටක් කඩලා දානවා කියන එක ලොකු දෙයක් නෙවෙයි. අනික අපි විදුලි වැට ගැහුවට හරියට නඩත්තු කරන්නෙත් නැහැ. ඒනිසා මේවගේ ජෛව වැටක් තමයි අපිට ගැළපෙන්නේ. ඊළඟට රිලවුන්ගෙන් දඬුලේනුන්ගෙන් මොනරුන්ගෙන් වල් ඌරන් ගෙන් ගොවියන්ට දැන් හොඳටම කරදරයි. ඊළඟට සේනා කියන දළඹුවා. මේ සේරම එක පෙළට ඇවිත් ගොවියා ඉන්නේ දැන් හතර ගාතෙන් වැටිලා.

අතීතයේ ඉදල බැලුවාම පේනවා මේ අලි මිනිස් ගැටුමේ කිසිම අඩු වීමක් නම් නැහැ කියලා, සංඛ්‍යාලේඛන සමග මට මේවා පෙන්විය හැකියි. ඒ වගේම මේවට රජයේ ගන්න ක්‍රියා මාර්ගවලත් එදා ඉඳලා අද වෙනකම්ම කිසිදු වෙනසක් නෑ, වෙනස් වීමක් සිදුවෙලා වත් නැහැ.

දැන් මනුස්සයෙක් විසින් අලියා ඝාතනය කළොත් අලියා මිහිදන් කරන්න මුදල් පාස් වෙනවා. නමුත් අලියෙක් විසින් මනුස්සයෙක් ඝාතනය කළොත් මේ කිසිදු දෙයක් නැහැ. ඒ වගේම තමයි දේපළ හානි වලට, වගා හානිය කිසිදු දෙයක් ලැබෙන්නේ නෑ. වන්දියක් ලැබෙනවා නම් ඒ දේ ලැබෙන්න හුඟාක් කාලයක් ගතවෙනවා. රාජ්‍ය පාලකයෝ මේ යාන්ත්‍රනයන් වෙනස් කරලා ගොවියාට සෙත සලසන්න කටයුතු කරලා නැහැ තවම. ඒ නිසා ගොවියාට තියෙන්නේ මාධ්‍ය ඉස්සරහට ඇවිත් හැමදාම අඬ අඬා ඉන්න. මේක හරිම අසාධාරණ තත්ත්වයක්. ගොවියෙක් කේන්තියට අලියෙක් වෙඩි තියලා මැරුවොත් පැයක් යනකොට අර මිනිහා කුදලන් යනවා. ඒකයි යතාර්ථය.

දැන් මේ සත්තු ගම් වදින්නේ ඔවුන්ට කැලේ කන්න දෙයක් නැති කොට නෙවෙයි, ඔවුන් මේ කොමඩු ගෙඩියට බඩ ඉරිඟු කරල ට පුරුදු වෙලා ඉන්නේ. මේ සත්වයින්ට ආහාර නිෂ්පාදනය කරලා දෙන්න පුළුවන් නම් ඒකත් ලොකු දෙයක් මොකද ඒ කරන්න බැරි දෙයක් නෙවෙයිනෙ. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වගේම රට වටා තියෙන ආර්ථික මධ්‍යස්ථාන වලින් දවසකට විශාල ප්‍රමාණයක් කසල වශයෙන් එළවළු පලතුරු විසික් කරනවා, ඉතින් මේවා සත්තුන්ට බෙදාහරින්න පුළුවන් .

වර්තමාන ජනාධිපතිතුමාගේ මේ සම්බන්ධයෙන් පවතින ක්‍රියාකාරීත්වය ගැන ඔබවහන්සේ සෑහීමකට පත්වෙනවා ද?

එතුමන් ක්‍රියා කරන්නේත් පරණ ජනාධිපතිවරු පරණ පාලකයෝ වගේම බව තමයි දැනට පේන්නේ. විදුලි වැට ගැසීම තමයි මේ හැවෝම දකින එකම විසඳුම. ඇත්තටම මේ විදුලි වැටෙන් කරන්න පුලුවන් මඟුලක් නැහැ. ඒක අසාර්ථකයි. ඒ වගේම තමයි වනජීවී කාර්යාලවල මේවා නඩත්තුවට නිලධාරීන් හිඟයි. සම්පත් සීමිතයි. ඉතිං වැට ගැහුවට වැඩක් නැහැ මාසයක් යනකොට අලි වැට කඩන් ගමට එනවා.

වනජීවී දෙපාර්තමේන්තුව මේ සත්තුටික විදෙස් සංචාරකයින්ට පෙන්නලා දවසකට මිලියන විස්සක් පමණ අදායමක් උපයනවා. මෙයින් කොටසක් මේ විදුලි වැට නඩත්තුවට යොදවන්න බැරිද? ඒක එහෙම කළොත් විදුලි වැටෙන් යම් ප්‍රයෝජනයක් ගන්න පුලුවන් වෙයි. දැන් මම මේ ජීවත්වෙන මොනරාගල දිස්ත්‍රික්කයේ බලහරුව කියන ගමේ ඊයෙත් අලියෙක් ගහලා පුද්ගලයෙක් මැරුණා. ඔන්න අද තමයි භූමදානය. මේවගේ මාසෙකට දෙන්නෙක් තුන්දෙනෙක් නම් මැරෙනවාම තමයි. ඉතිං ඒත් කෝ විසඳුමක්. පේන තෙක් මානයක විසඳුමක් නැහැ. අපේ පාලකයන්ට විශේෂයෙන් කොළඹ මහත්වරුන්ට මේවා පේන්නේ නැහැ.

Social Sharing
නවතම සාකච්ඡා