මධුෂ්ගේ මරණය ගැන මානව හිමිකම් පරීක්ෂණ

පොලිස් අත්අඩංගුවේදී සැකකරුවන් මරුමුවට පත්වීම පසුගිය කාලවකවානුව තුළ දී වැඩි වී ඇති  බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.

සිරකරු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින මෙරට  ප්‍රමුඛතම සංවිධානයක් පවසන්නේ බන්ධනාගාර ගතව සිටින  රැදවියන්  ඝාතනය කළ බවට එල්ල වන චෝදනාද  මෑත යුගයේ ඉහළ ගොස් ඇති බවයි.

2020 ජුනි මස සිට ඔක්තෝබර් 20 දක්වා කාලය තුළ පොලිස් අත්අඩංගුවේදී මිය යාම් අටක් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අවධාරණය කරයි.

රැඳවුම් නියෝග යටතේ සිටියදී ඔක්තෝබර් 20 දින ඝාතනයට ලක්වූ මාකඳුරේ මධුෂ් නමින් ප්‍රකට සමරසිංහ ආරච්චිලාගේ මධුෂ් ලක්ෂිතගේ මරණයත් එයට ඇතුලත් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස්වරිය පෙන්වා දෙයි.

වැඩ බලන පොලිස්පති චන්දන වික්‍රමරත්න වෙත ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් රමණී මුත්තෙට්ටුවගම විසින් යොමු කර තිබෙන ලිපියක් මගින් අවධාරණය කර ඇත්තේ මුලික අයිතිවාසිකම් පිළිබද යම් උල්ලංඝණය කිරීමක් හෝ අත්‍යාසන්න උල්ලංඝණය කිරීමක් පිළිබද විමර්ශනය කිරීමත්, අධිකරණමය ආඥාවක් මගින් හෝ අන්‍යාකාරයකින් හෝ රදවා ගෙන සිටින තැනැත්තන්ගේ සුභසිද්ධිය සදහා අවශ්‍ය විය හැකි නිර්දේශ ඉදිරිපත් කිරීමටත්  ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව කටයුතු කරන බවයි.

මධුෂ් ලක්ෂිතට  යම් ජීවිත අනතුරක් සිදු වීමට ඇති හැකියාව සම්බන්ධයෙන් කල් වේලා ඇතිව වගකිව යුතු බලධාරීන් දැනුවත් කර තිබියදීත්,  ඔහු ඝාතනය වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ අවධානය යොමුව තිබේ.

” ඒ අනුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට, කොළඹ අපරාධ කොට්ඨාශය වෙත රැදවුම් ස්ථානය වෙනස් කළ සමරසිංහ ආරච්චිලාගේ මධුෂ් ලක්ෂිත යන අයට යම් ජීවිත අනතුරක් වීමට හැකියාවක් ඇති බවට 2020.10.18 දින ලද පැමිණිල්ලට අනුව එම රැඳවියාගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධව සුදුසු වැඩ පිළිවෙලක් ගත යුතු බව දක්වමින් 2020.10.19 දිනැතිව කොළඹ අපරාධ කොට්ඨාශය, පොලිස්පති හා පොලිස් කොමිෂන් සභාව වෙත ෆැක්ස් පණිවිඩ මගින් දන්වා තිබියදී විමර්ශන කටයුත්තකදී එම රැඳවියා මිය යාම පිළිබද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තම අවධානය යොමු කර ඇත.  ”

ඒ සම්බන්ධයෙන් මෙන්ම පොලිස් අත්අඩංගුවේදී සිදු වන මිය යාම් පිළිබදව මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කර ඇති බව ශ්‍රී  ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වැඩ බලන පොලිස්පති වෙත ඔක්තෝබර් මාසයේ  යොමු කළ ලිපියක සදහන්ය.

එම එක් පරීක්ෂණයක් සදහා ඔක්තෝබර් 21 දින පෙරවරු 11.30 ට කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂ හා ස්ථානාධිපති කැදවා තිබුනද කිසිදු හේතු දැක්වීමකින් තොරව ඔවුන් සහභාගී වී නොමැති බවත් එම ලිපියේ වැඩි දුරටත් සදහන්ය.

ඒ අනුව එම නිලධාරීන්ගේ ක්‍රියාකලාපය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනතේ 21 වගන්තිය යටතේ ගැනෙන කරුණක් බව දන්වමින්  කොමසාරිස් රමණී මුත්තෙට්ටුවගම  වැඩ බලන පොලිස්පති සී.ඩී වික්‍රමරත්නගෙන් ඉල්ලා ඇත්තේ එම නිලධාරීන් සම්බන්ධව නිසි පියවර ගෙන කොමිෂන් සභාව දැනුවත් කරන ලෙසයි.

අගොස්තු 27 දින ජාතික පොලිස් කොමිෂන් සභාව හමුවේ පොලිස්පති, මානව හිමිකම් කොමිෂන් සභාව සමග පැවැති සාකච්ඡාවේදී පොලිස් අත්අඩංගුවේදී සිදු වු මිය යාම් පිළිබදව සාකච්ඡාවට බඳුන් වූ ආකාරයත් කොමසාරිස්වරිය පොලිස්පතිවරයාට සිහි ගන්වා තිබේ.

එම ලිපිය මගින් ඇය වැඩි දුරටත් අවධාරණය කර ඇත්තේ මෙවැනි සිදුවීම් දිගින් දිගටම සිදු වීම තුලින් රට තුළ තීතියේ ආධිපත්‍ය පිළිබද බරපතල ගැටලුකාරී තත්වයක් ගොඩ නැගෙන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ විශ්වාසය බවයි.

HRCSL inquiry into Madhushus death

HRCSL inquiry into Madhushus death

 

 

Social Sharing
නවතම