හම්බන්තොට ගොවීන් අඛණ්ඩ උපවාසයක

වන අලි ගැටළුවට විසදුම් ඉල්ලා ජනපති, අගමැති හා විපක්ෂ නායක නිජ භූමියේ ගොවීන් පිරිසක් අඛණ්ඩ උපවාසයක් ආරම්භ කර තිබේ.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවතින වන අලි ගැටළුවට විසදුම් දෙන ලෙසත්, වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කරන ලෙසත් ඉල්ලමින් ගොවි සංවිධාන 86 ක් ඒකාබද්ධව ජනවාරි 18 දින  සුරියවැව, වල්සපුගල වැව් තාවුල්ලේ සත්‍යග්‍රහයක් ආරම්භ කර ඇත.

කිසිදු වගකිවයුත්තෙක් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු නොකිරීම හේතුවෙන් සත්‍යග්‍රහයේ යෙදී සිටි ගොවීන් කිහිපදෙනෙකු විසින්  ජනවාරි 20 බදාදා සිට මාරාන්තික උපවාසයක් ආරම්භ කළ බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.

යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කර වනජීවි දෙපාර්තමේන්තුවට  බාර දෙන ලෙස 2010 වසරේ සිට ඉල්ලීම් කර තිබුනද  මේ වන තුරුත් විසදුමක් ලබා දී නොමැති බවට චෝදනා කරන ඒකාබද්ධ ගොවි සංවිධානයේ ලේකම් සමන් සුදර්ශන මාධ්‍යවේදීන් සමග පවසා ඇත්තේ ස්ථිර විසදුමක් ලැබෙන තුරු සටන අත් නොහරින බවයි.

“යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය වහා ගැසට් කරනු, අක්‍රිය විදුලි වැට වෙනුවට රක්ෂිතය වටා ශක්තිමත් විදුලි වැටක් ඉදි කරනු, සංවර්ධන බිමේ සිටින වන අලින් වහා ඉවත් කරනු, මහවැලි බලධාරීන් වලව වම් ඉවුරට නිකුත් කරන ජලය පිළිබද ගන්නා අත්තනෝමතික තිරණ වහා හකුලා ගනු, යෝජිත අලි කළමනාකරණ ක්ෂේත්‍රයේ පැරණි වැව් ගම්වල ගොවීන්ට විකල්ප ඉඩම් ලබා දෙනු, ගව හිමියන්ට තෘණ බිමක් ලබා දෙනු, හම්බන්තොට ඉඩම් කොල්ලය වහා නවතනු” ගොවින්ගේ  ප්‍රමුඛ ඉල්ලීම් වේ.

අලින්ට ගහන ගැසට්

වන අලි රක්ෂිතය කඩිනමින් ගැසට් කරන ලෙස ඉල්ලමින්  අඛණ්ඩ සත්‍යග්‍රහක් දියත් කර ඇති  හම්බන්තොට ප්‍රදේශයේ ගොවීන්ට ලබාදෙන විසදුම් කවරේදැයි රජයේ  නිල පුවත් වෙබ් අඩවිය කළ විමසීමකදී  වනජීවී අමාත්‍ය සී. බී. රත්නායක පවසා ඇත්තේ, වන අලි රක්ෂිතය කඩිනමින් ගැසට් කිරීමේ යෝජනාව පෙබරවාරි මුල් සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි.

ජනවාරි 11 වනදා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේද සහභාගිත්වයෙන් පැවති සාකච්ඡාවේදී එම වන අලි රක්ෂිතය ගැසට් කිරීමේ යෝජනාව පිළිබදව සාකච්ඡා කළ බවත් ඔහු පවසා තිබේ.

වන අලි රක්ෂිතයට  අනුමැතිය හිමිවී ඇතත් “යම් යම් නිර්ණායක” සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කර තීරණ වලට එළඹිය යුතු බැවින් තවත් සුළු කාලයක් වැය වුණද හැකි ඉක්මණින් එම ගැටලුවට විසදුම් ලබාදී අලි මිනිස් ගැටුමට ඉදිරියේදී ස්ථිරසාර වැඩපිළිවෙලක් දියත් කරන බව අමාත්‍යවරයා පැවසුවේයැයි  රජයේ නිල පුවත් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

රටේ වැඩි කොටසක  අලි මිනිස් ගැටුම්

ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක විසි පහෙන්, දහ නමයකම අලි මිනිස් ගැටුම් පවතින බව රජය පසුගියදා පිළිගෙන තිබුනි.

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක දහ නමයක් තුළ පිහිටි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 133 ක දැනට අලි මිනිස් ගැටුම් වාර්තා වන බවයි රජය පවසන්නේ.

මෙම තත්වය පාලනය කිරීම සදහා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂිත වැටවල් සහ විදුලි වැටවල් ඉදි කරන අතර එම වැටවල් සදහා භාවිතයෙන් ඉවතර කරන ලද රේල් පිලී යොදා ගැනීමට ද  ගිය වසරේ  කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබුනි.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී රජය ප්‍රකාශ කර තිබුනේ ඒ  වන විට විදුලි වැට කිලෝ මීටර 4500 ක් පමණ ඉහත කී ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 133 හි ඉදි කර තිබෙන අතර තවත් කිලෝ මීටර 1500 ක පමණ විදුලි වැටවල්ද, ආරක්ෂිත වැට සහිත වන අලි රැදවුම් මධ්‍යස්ථානද ඉදි කිරීමට සැලසුම් කර තිබේ.

මෙම වැටවල් ඉදිකිරීම සදහා දැනට දැව කණු යොදා ගනු ලැබුවද වන අලින් විසින් ඒවා නිතර පෙරළා දමන අතර මේ සදහා කොන්ක්‍රීට් කණු යොදා ගැනීමද ඒවා ප්‍රතිසංස්කරණය කිරීමේ අපහසුතා නිසා ප්‍රායෝගික නොවන බව රජය වැඩි දුරටත් සදහන් කරයි.

ඒ අනුව, එම කාර්යයන් සදහා විකල්ප විසදුමක් වශයෙන් භාවිතයෙන් ඉවත් කරන ලද රේල් පීලි යොදා ගැනීමට යෝජනා වී විය.

ඒ සදහා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් භාවිතයෙන් ඉවත් කරන ලද රේල් පීලි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නොමිලේ ලබා ගැනීම පිනිස, වන ජීවි හා වන සංරක්ෂණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ බව ද  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබුනි.

ජනපති උපදෙස

වන අලි ගම් වදිනවා වෙනුවට කැලෑ වදින ක්‍රමවේදයක් සකස් කර අලි මිනිස් ගැටුමට දෙවසරක් තුළ ස්ථීර විසඳුමක් දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගිය වසරේ  ඔක්තෝබර් මාසයේදී නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබුනි.

එහිදී ජනාධිපතිවරයා අවධාරණය කර තිබුනේ මිනිසා සහ අලියා යන දෙකොටසම සුරැකෙන කඩිනම් සහ ස්ථීර විසඳුම් සෙවීම ප්‍රමුඛ කාර්යක් බවයි.

මිනිස් ක්‍රියාකාරකම් නිසා වාසභූමි අහිමිවූ අලි ගම් වැදීමෙන් වැඩිම හානිය සිදුවී ඇත්තේ අලින්ටය.

ජනාධිපති මාධ්‍ය ඒකකය පවසන පරිදි 2019 වසරේ දී වන අලි ගම් වැදීමෙන් මිනිස් ජීවිත 122ක් අහිමි වී ඇති අතර වන අලි 407 දෙනෙකු මිය ගොස් තිබේ.

2020 වසරේ ගත වූ පළමු මාස 08 තුළ අහිමි වූ මිනිස් ජීවිත ගණන 62කි. මිය ගිය අලි සංඛ්‍යාව 200කි.

Social Sharing
නවතම