“දේශීය ඖෂධ අධිමාත්‍රා ශරීරයට අහිතකරයි” – ශ්‍රී ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය සංගමය හෙළිකරයි.

සාදික්කා අධිකව ලබා ගැනීම නිසා ශරීරයේ විෂ තත්ත්වයක් ඇති විය හැකි බවද  හිතුමතේ දේශීය ඖෂධ භාවිතා නොකර වගකීමක් ඇති ආයුර්වේද වෛද්‍යවරයෙකුගේ නිර්දේශ මත නියමිත මාත්‍රාව පමණක් ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය ප්‍රසාද් හෙන්දාවිතාරණ මහතා පවසයි.

මේ වන විට කොරෝනා රෝගය සුව කිරීම සඳහා යැයි ඉදිරිපත්ව තිබෙන දේශීය ඖෂධ සම්බන්ධයෙන් දේශීය වෛද්‍ය අමාත්‍යාංශය, ආයුර්වේද දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කඩිනමින් නිසි නියාමනයක්,අධික්ෂණයක් කළ යුතු බවද අවධාරණය කරයි.

අද විවිධ පුද්ගලයින් දේශීය ඖෂධ යොදාගෙන කොවිඩ් වලට බෙහෙත් හඳුන්වා දෙමින් තිබෙන බවත් ඒ නිසා මේ වන විට දේශීය ආයුර්වේදය ගැන රටේ සංවාදයක් මතුව ඇතැයිද ඔහු කියා සිටියි.

මේ දේශීය ප්‍රතිකාර බොහෝ ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාර වුවත් ඒවා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයෙන් අනුමත කිරීමටත් ප්‍රථම ජනමාධ්‍ය තුලින්, සමාජ මාධ්‍ය තුලින් ප්‍රසිද්ධ කිරීම නිසා ජනතාව අනවශ්‍ය අකාරයේ ඖෂධ පිටුපස හඹා ගොස් ගැටළු ඇති කර ගන්නා බව වෛද්‍ය ප්‍රසාද් මහතා පෙන්වා දෙයි.

මේ වන විට වෙලඳපොලේ දේශීය ඖෂධ හිඟ වී මිල ඉහළ ගොස් තිබෙන්නේ එවන් අනවශ්‍ය ආකාරයට මිලදී ගැනීම් සිදු කළ නිසා බවද ඔහු පවසයි.

මීයන් යොදාගෙන සාදික්කා සම්බන්ධයෙන් සිදුකල පරීක්ෂණයේදී කිලෝ ග්‍රෑම් 01 කට ග්‍රෑම් 05 ක් ගියොත් එය විෂ සහිත තත්ත්වයක් බව අනාවරණය වී ඇති බවත්, ඒ නිසා මේ ජනතාවගේ ජීවිත සම්බන්ධ ගැටළුවක් බැවින් නව ඖෂධයක් නම් අනිවාර්යයෙන්ම රසායනාගාර පරීක්ෂාවක්, සත්ව පරීක්ෂාවක් සහ නිරෝගී වැඩිහිටියෙකුට ලබා දී එම පරීක්ෂාවෙන් පසු  ලැබෙන නිර්දේශ මත රෝගීන්ට ලබා දීම සිදුකළ යුතු බවය.

Social Sharing
නවතම