අනවශ්‍ය ලෙස බන්ධනාගාර ගත වීම් වැලැක්වීමට රස පරීක්ෂක වාර්තා මසක් තුලදී,,,

කන්තලේ, වාන් ඇල පදිංචි 23 හැවිරිදි තරුණයෙකු යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී සූරියපුර පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් හෙරොයින් මිලිග්‍රෑම් 4005 ක් සමඟ අත්අඩංගුවට ගෙන කන්තලේ පොලීසිය වෙත භාර දීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 100 ක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි පුවතක් අප වෙබ් අඩවිය තුලින් වාර්තා කර තිබුණේ පහුගිය පෙබරවාරි  14 දාය.

එකී පුවතට අනුව මෙම තරුණයා 1984 අංක 13 දරණ විෂ වර්ග අබිං සහ අන්තරාදායක ඖෂධ වර්ග පිළිබඳ පාලන පනතේ 54 වන වගන්තිය යටතේ චෝදනා එල්ල කරමින් 2020 ඔක්තෝබර් 16 වන දින කන්තලේ මහේස්ත්‍රාත් අධිකරණයට මොහුව ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

දින 100 කට පසු රස පරීක්ෂක වාර්තා ලැබීමෙන් පසු හෙළි වන්නේ මොහු සන්තකයේ තිබී ඇත්තේ හෙරොයින් නොවන බවත් හඳුනා නොගත් ද්‍රව්‍යයක් බැවින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 186 වන වගන්තියේ විධි විධාන අනුව කටයුතු කරමින් කන්තලේ මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය ජනවාරි 25 වන දින ඔහුව නිදොස් කොට නිදහස් කර ඇත.

මෙම තරුණයාට දින 100 ක් බන්ධනාගාර ගතව සිටීමට සිදු වුයේ රස පරීක්ෂක වාර්තා  ලැබෙන තුරුය. දැන් රස පරීක්ෂක වාර්තාව ලැබී ඇත. ඒ අනුව ඔහු නිදොස් නිදහස් පුද්ගලෙයකි. නමුත් ඔහු නිකරුණේ දින 100 ක් බන්ධනාගාරගතව සිටියේය. ඔහු වධහිංසාවට ලක් වුවේය. නමුත් ඔහුට ඒවාට සාධාරණයක් ඉටු වන්නේ නැත.

මෙවන් සිදුවීම් අධිකරණ පද්ධතියේ, රස පරීක්ෂක දෙපාර්තෙම්න්තුවේ ඇති අවිධිමත්භාවය නිසා මේ රට තුල බොහෝ ඇත.  මේ පිලිබඳව දැන් අධිකරණ අමාත්‍යවරයාගේ අවධානය යොමුව ඇත. එය ඉතා සාධනීය ලක්ෂයකි.

ඔහු පවසන්නේ නඩු ප්‍රමාදය අවම කරමින් පවතින නඩු කඩිනමින් විසදමින්  ජනතාවට අධිකරණය මගින් ලබා දිය හැකි උපරීම සහන සැලසීම වත්මන් රජයේ මුලික අරමුණ වන බැවින් ඒ සදහා අවශ්‍ය උපදෙස්  ජනාධිපතිතුමා විසින් ලබා දී ඇති බවත්, අධිකරණ පද්ධතිය තුළ සිදු වන සියලු ප්‍රතිසංස්කරණ යටිතල පහසුකම් සැපයීම වැනි කටයුතු වල වාසිය සාමාන්‍ය ජනතාව වෙත ගලා යා යුතු බවත්ය.

එමෙන්ම රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කටයුතු කාර්යක්ෂම කරමින්  එහි ධාරීතාව වැඩි කර සේවක සංඛ්‍යාව වැඩි කිරීම කර අවම වශයෙන්  මසක් තුළ වාර්තා ලබාදීය හැකි මට්ටමට රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ගෙන එන බවත් උතුරු මැද  හා දකුණු පළාත් සදහා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කාර්යාල පිහිටුවීමට අපේක්ෂා කරන බවත් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා  පවසයි.

වාරිමාර්ග අමාත්‍ය හා ස්වදේශ කටයුතු ආපදා කළමණාකරණ හා රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු චමල් රාජපක්ෂ මැතිතුමාගේ ආරාධනයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ අධිකරණවල පවතින අවශ්‍යතා සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක  (2021.02.13) නිරතවූ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මැතිතුමා තිස්සමහාරාම හම්බන්තොට දිසා මහෙස්ත්‍රාත් අධිකරණවලට  හා තංගල්ල අධිකරණ සංකීර්ණයට පැමිණ එහිදී පැවති සාකච්ඡාවලදී මෙම අදහස් පළ කළේය.

එහිදී තවදුරටත් අදහස් පළ කළ අධිකරණ අමාත්‍යතුමා මෙසේ ද සදහන් කළේය.

අධිකරණවල සංවර්ධන කටයුතු සිදු කිරීමේදී නීතිඥ සංගම්වල අදහස් ලබා ගැනීම වැදගත් බවත්, අධිකරණ කටයුතු කඩිනමින් සිදු කිරීම සදහා මේ වන විට ආරම්භ කර ඇති සමස්ත අධිකරණ පද්ධතියම ඩිජිටල්කරණය කිරීමේ කටයුතු මුලික වශයෙන් අධිකරණ 42 කින් ආරම්භ කර අදියර හතරක් යටතේ සියලු අධිකරණ වෙත හදුන්වා දීමට කටයුතු කරන බවත්, අධිකරණ ක්ෂේත්‍රය තුළ සිදු විය යුතු ප්‍රතිසංස්කරණ හා සංශෝධන පිළිබදව සොයා බැලීම සදහා විශේෂ කමිටු පහක් පත් කර ඇති අතර නීතිඥවරුන්ට ඒ සදහා යෝජනා එවීමට හැකියාව පවතින බවත් අමාත්‍යතුමා සදහන් කළේය.

අධිකරණයේ ස්වාධීනත්වය හා නීතියේ ආධිපත්‍යය ස්ථාපිත වීමට නම් අධිකරණය පිළිබදව ජනතා විශ්වාසය ඇති විය යුතු බවත්, ඒ සදහා නඩු විසදීම කඩිනම් විය යුතු බවත් වත්මන් රජය එය මැනවින් අවබෝධ කර ගෙන ඇති බැවින් ඉදිරි වසර පහක කාලය තුළ විනිසුරුවරුන් සංඛ්‍යාව  වැඩි කර අධිකරණ පද්ධතියේ යටිතල පහසුකම් වැඩි කිරීමට මෙන්ම සමස්ත ජනතාවට අධිකරණ පද්ධතිය පිළිබදව විශ්වාසය ඇති කිරීමට අවශ්‍ය සියලු කටයුතු සිදු කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියි.

-ශානි-

Social Sharing
නවතම