පාස්කු ඉරිදා ප්‍රහාරය පෙන්වා බලයට පැමිණියේ නැතිද?

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාව ගැන රටේ ඇත්තේ උණුසුම් කථාබහකි. මේ වාර්තාවෙන් මේ ප්‍රහාරය සැලසුම් කළ අය ගැන හෙළිදරව්  වී නොමැති බව මෙහි නැගෙන ප්‍රධාන චෝදනාවකි. එමෙන්ම වාර්තාවේ සියලු කොටස් තවම  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දී නොමැති බවද කියැවේ.

මේ වාර්තාවේ ඇතැම් කොටස් ජාතික ආරක්ෂාව ගැන සලකා ප්‍රසිද්ධ කර නැත. මෙවන් පසුබිමක් තුල මේ ජනාධිපති කොමිෂන් පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධව සමාජයේ ඇත්තේ දැඩි විවේචනාත්මක අදහස්ය.

මේ පිලිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (06) ප්‍රසිද්ධියේ කථා කර සිටියේය. ඒ් කුරුණෑගල දිස්‍ත්‍රික්කයේ, ගිරිබාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්, වේරගල ග්‍රාම නිලධාරී වසමේ මාඳුරාගම ක්‍රීඩාපිටියේ පැවති “ගම සමග පිළිසඳර” 13 වැනි වැඩසටහනට සහභාගීවෙමිනි.

එහිදි ජනාධිපතිවරයා පැවසුයේ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාව සැඟවීමේ කිසිදු අවශ්‍යතාවක් තම රජයට නැති බවය.

ඒ සම්බන්ධයෙන් කිසිදු පුද්ගලයෙකු හෝ පාර්ශ්වයක් හෝ සමග ඩීල් දාන්නේ නැති බවත්, කිසිවෙකු සන්තෝෂ කිරීමට වුවමනාවක් නැති බවත් ඔහු අවධාරණය කර තිබේ.

පාස්කු ඉරිදා ප්‍රහාරය ජාතික ප්‍රශ්නයක් වන අතර  එය දේශපාලන තේමාවක් කර නොගත යුතු බවත්  මේ විපත සම්බන්ධයෙන් නිවැරදිව ක්‍රියාකිරීම ප්‍රහාරයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ඉටු කළ යුතු වගකීමක් බව ජනාධිපතිවරයා සිහිපත් කර ඇත.

ප්‍රහාරය ගැන කාදිනල් හිමිපාණන්ට ඇති වේදනාව සාධාරණ බවත්  උන්වහන්සේ ඒ ගැන කථා කිරීම නිවැරදි බවත් ප්‍රහාරය සිදුවූ වේලාවේ නිහඬව සිටි එදා ආණ්ඩුවේ දේශපාලනඥයන් දැන් කළු කොඩි දැමීම කණගාටුවට හා හාස්‍යයට කරුණක් බව ජනාධිපතිවරයා කියා ඇත.

පාස්කු ප්‍රහාරය පසුගිය ආණ්ඩුව බලයේ සිටි 2019 වසරේ සිදු වූවක් වන අතර  එදා පැවති රජයේ වැරදි ප්‍රතිපත්ති නිසා කළකිරී සිටි ජනතාව සමුපකාර සමිති ඡන්දයේදී මෙන්ම 2018 පෙබරවාරි මස පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී ද ආණ්ඩුව කෙරෙහි දැඩි විරෝධය ප්‍රදර්ශනය කළ බවත්  තමා පාස්කු ඉරිදා ප්‍රහාරය පෙන්වා බලයට පැමිණියේ නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර තිබුණි.

2015 ට පෙර පැවති රජය ජාතික ආරක්ෂාවට ඉහළම ප්‍රමුඛත්වය දී තිබු නමුත්  2015 දී බලයට පැමිණි පිරිස ජාතික ආරක්ෂාව අමතක කළ බව පෙන්වා දෙන ජනාධිපතිවරයා පවසන්නේ  කුමන මානව හිමිකම් චෝදනා නගනු ලැබූවද 2015ට පෙර පැවති ආරක්ෂක ප්‍රතිපත්තිය යළි සක්‍රීය කර තිබෙන බවය.

රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ වගකීම ඇත්තේ රජයට බවත් දෙමළ බෙදුම්වදී ත්‍රස්තවාදයට හෝ ඉස්ලාම් අන්තවාදයට හෝ හිස එසවීමට කිසිදු ඉඩක් නොතබන බවත්, පදනම් විරහිත සියලු චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ඔහු එහිදී වැඩිදුරටත් කියා තිබුණි.

ජනාධිපතිවරයාගේ කථාව ඉතා හොඳය. ඔහු ගමින් ගමට යන පිළිසඳරේදී අනිවාර්යෙන්ම යම් ආන්දෝලානාත්මක ප්‍රකාශ කිරීමට ඉතා දක්ෂය. එය ඔහුගේ දේශපාලනය වේ. එහි වරදක් නැත. නමුත් සිහිපත් කිරීමට යමක් ඇත.

ඒ් 2019 ජනාධිපතිවරණයේදී සියලුම දේශපාලන වේදිකා මත මේ පාස්කු ඉරුදින ප්‍රහාරය වෙන්දේසි වු බවය. වරෙක එවකට ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාම මේ පිලිබඳ කථා කරමින් පැවසුයේ ඔහු බලයට පැමිණි පසු මේ ප්‍රහාරයේ වගකිවයුත්තන්ට අනිවාර්යෙන්ම දඬුවම් ලබා දෙන බවකි.

ඔහු එසේ පවසා තිබුණේ  දිගින් දිගටම මේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණයක් ඉටු කරන ලෙස කාදිනල් හිමිපාණන් ඉල්ලා සිටීම නිසාය.

නමුත් අවසානයේ කාදිනල් හිමිපාණන් පවසා තිබුණේ මට ඔබේ ප්‍රකාශ වැදගත් නොවන බවත් තමන් මේ ඉල්ලීම කරන්නේ බලය පවතින රජයෙන් බවත්ය.

නමුත් එවකට ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන් අධෛර්යමත් වුයේ නැත. ඔහුගේ එක් මැතිවරණ පොරොන්දුවක් වුයේ මේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණයක් ඉටු කරමින් මෙහි වගකිවයුත්තන්ට දඬුවම් ලබා දෙන බව නොවේද?

ශානි

Social Sharing
නවතම