ගමින් ගමට ගියේ ජනාධිපති ගෝඨාභය විතරමද?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගමින් ගමට ගොස් ගම්මාන වල ඇති ප්‍රශ්න සොයා බැලීමේ වැඩසටහනක් ආරම්භ කරන ලද්දේ මීට මාස කිහිපයකට පෙරය. එහිදී ඔහු ගම්මාන වලට යන සෑම අවස්ථාවකම ගන්නා තීන්දු තීරණ සමාජ ආන්දෝලනයට තුඩු දීමක් විය. මෙය ඔහුගේ මාධ්‍ය සංදර්ශනයක් බව ඇතමුන් කියා සිටියේය.

ඊට පිලිතුරු ජනාධිපතිවරයා ඊයේ (06) දින කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දික්ඇල්ලකන්ද ග්‍රාමනිලධාරී වසමේ, දික්ඇල්ලකන්ද කණිෂ්ඨ විද්‍යාල භූමියේ පැවති “ගම සමග පිළිසඳර” නව වැනි වැඩසටහනට සහභාගීවෙමින් ලබා දී ඇත.

එනම් ජනතාව අතරට පැමිණ ගැටළු විසඳීම දේශපාලන නාට්‍යයක් හෝ මාධ්‍ය සංදර්ශනයක් හෝ නොවන බවටය.

ජනාධිපතිවරයා පවසන්නේ ඊළග ජනාධිපතිවරණයට තවත් වසර හතරකට ආසන්න කාලයක් තිබෙන බැවින් දැන්ම මාධ්‍ය සංදර්ශන සිදු කළ යුතු නැති බවය. ගමට යන්නේ බලයේ සිට කළයුතු මෙහෙවර ඉටුකිරීමට බවත් විපක්ෂයේදී පැමිණියත්, ජනතා ගැටළු විසඳමින් දුෂ්කර ගම්මාන වෙත ගිය වෙනත් ජනාධිපතිවරයෙකු නැතැයිද ඔහු කියා සිටියි. කොළඹ සිටිමින් නිලධාරීන්ගෙන් පමණක් විමසා ජනතා ගැටළු හදුනා ගැනීම මගේ ක්‍රමය නොවන බවත්  කවරකු මේ ක්‍රමය විවේචනය කළ ද “ මම මගේ ක්‍රමයට වැඩ කරනවා” යැයි රාජපක්ෂ මහතා  කියා සිටී.

“ජනතාව අතරට ගොස් වැඩකරලයි මම ජනාධිපති වුණේ. වැඩ කිරීමෙන් පමණයි ජනතා නායකයෙක් විය හැක්කේ” එබැවින් ජනතාව අතරට ගොස් වැඩ කරන ලෙස තරුණ මහජන නියෝජිතයින්ට ජනාධිපතිවරයා කියා සිටියේය.

එසේම ජනතා ගැටළු විසඳීමට ගත් තීන්දු දඩමීමා කරගෙන යම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් නීති විරෝධි ක්‍රියාවන්හී නිරත වන්නේ නම් ඔවුන්ට දැඩිව නීතිමය පියවර ගන්නා බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

නමුත් මීට පෙර ජනාධිපතිවරයෙකුව සිටි දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාද ගම්මාන වලට ගොස් දුක සැප බැලූ අතර ඔවුන්ගේ ප්‍රශ්න වලට විසඳුම් ලබා දීමද සිදු කෙරුණි. එහෙත් එය නිහඬ සේවයක් වූ අතර, ඔහු වැඩ කලේද ජනතා සුබසිද්ධිය උදෙසා බව අපට අමතක නැත.

Social Sharing
නවතම