ජිනීවාහිදී ලංකාවට විරුද්ධ වූයේ ද්‍රෝහීන්ද?

ජිනීවා පරාජය වත්මන් ආණ්ඩුව ජාත්‍යන්තරයේදී තීරණාත්මකව පරාජය වූ පළමු අවස්ථාවයි. ලංකාවේ විදේශ ඇමතිවරයාට අනුව මෙය පරාජයක් නොව ජයග්‍රහණයකි. මෙවන් බාල දේශපාලනික කතා විදේශ ඇමතිවරයකුට තරම් නොවේ. එය ආණ්ඩුවේ වෙනත් කයිවාරුකාර මහතෙකු ලවා ජනතාවට සන්නිවේදනය කිරීම වෙනම දෙයකි. නමුත් යෝජනාව සම්මත වීමෙන් පසු ලංකාවේ විදේශ ඇමතිවරයා දේශීය හා ජාත්‍යන්තර මාධ්‍යවේදින් හමුවේ මෙවන් ප්‍රකාශයක් කිරීම රාජ්‍යයම විහිළුවට ලක් කිරීමකි. ඔහු මීට පෙර මියන්මාරයේ හමුදා පාලනයේ විදේශ ඇමතිවරයාට නිල ආරාධනයක් කර බරපතල අප්‍රසාදයකට ලක් විය. විදේශ ඇමතිවරයා හැම විටම රාජ්‍ය නායකයාට ඉතාම සමීප අයෙක් වන අතර ජාත්‍යන්තර තලයේදී රාජ්‍යය නියෝජනය කරන යාන්ත්‍රණයේ ප්‍රධානියාය. එම නිසා විදේශ ඇමතිවරයාගේ ප්‍රකාශ ලෝකය පිළිගන්නේ හුදු ඇමතිවරයාගේ ප්‍රකාශ ලෙස පමණක් නොව රාජ්‍යයයේ ප්‍රකාශ ලෙසය.

මෙම  මේ කතාවට වඩා විදේශ ඇමතිවරයා යල් පැන ගිය පැරණි තර්කයක් නැවත කරළියට ගෙන එයි. ඒ ශ්‍රී ලංකාවට විරුද්ධ වූයේ විජිතවාදී ලෝකයේ එක් කඳවුරක පිරිසක් බවයි. මහින්ද රාජපක්ෂ යුගයේ විදේශ ඇමතිවරයකු වූ මහාචාර්ය ජී.එල් පීරිස්ද මාධ්‍ය හමුවකදී මේ ආකාරයේම ප්‍රකාශයක් කරනු ලැබීය. වසර ගණනාවක් තිස්සේ වාමාංශිකයන් විසින් මෙරට පැළ කරන ලද පැරණි මතවාදයකට පන දීමට මේ ඇමතිවරු උත්සහ දරයි. යුරෝපය හා එක්සත් ජනපදය පිළිබඳ ලංකාවේ පැළ කරන ලද මතවාදය මගින් හැමවිටම ලංකාවේ බහුතර ජනයා තුළ යුරෝපය හා එක්සත් ජනපදය පිළිබඳ බියක් හා සැකයක් ජනිත කර ඇත. චීනයට හා රුසියාවට ලංකාවේ බහුතර මිනිසුන් එක්සත් ජනපදයට හා යුරෝපයට වඩා කැමතිය. නමුත් ඒ ලංකාව තුළ දේශපාලනයේදීය. එකී ජනයා සංක්‍රමණය වීමට උත්සහ කරන්නේ නම් යුරෝපයට හා එක්සත් ජනපදයට මිස චීනයට හා රුසියාවට නම් නොවේ. එකී කැමැත්ත හා විරෝධය නිර්ඹාණය කලේ මෙරට වාමාංශිනයන් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. පැරණි අධිරාජ්‍යවාදී කඳවුර පිළිබඳ කතා 1990 ට පමණ පෙර යම් සත්‍යයක් තිබුණද 1990න් පමණ පසු සීග්‍රයෙන් වෙනස් වූ ලෝක තත්වය තුළ අද ව විට නව විජිතවාදීන් කවුද යන්න ප්‍රශ්නයක් වී තිබෙන අතර චීනයේ ආර්ථික විජිතවාදය පිළිබඳ ලෝකය පුරාම විරෝධයක් ඇවිලෙමින් තිබේ.

ඇමතිවරයා කියන පරිදි ලංකාවට ද්‍රෝහී වූ මේ විජිතවාදීන් ලංකාවට පක්ෂ වූ ප්‍රෙමීන්ට වඩා ලංකාව ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමට දායක වන අයුරු කෙටියෙන් විමසා බලමු. ලංකාවේ ආර්ථික ශක්තිය රඳා පවතින්නේ යුරෝපය හා එක්සත් ජනපදය මතය. විශේෂයෙන් රටක ආර්ථිකයක ශක්තිය රඳා පවතින්නේ එරටට ලැබෙන විදේශ විනිමය මතය. එහි ප්‍රධාන ප්‍රභවය අපනයන ආදායමයි. ආර්ථික ශක්තිය නොමැති වූ සැණින් ශ්‍රී ලංකාව විදේශ ඇමති කියන ආකාරයේ විජිතවාදීන්ට ගිල ගත හැක. දැනටමත් ලංකාවේ ණය උගුල පාවිච්චි කරමින් ලංකාව ගිල ගනිමින් සිටින්නේ නව විජිතවාදී චීනයයි. රටක ස්වාධීනත්වය රැකෙන්නේ මානව හිමිකම් කොමිසමේ ලබා දෙන ඡන්දයෙන් නොව එකී රාජ්‍යයේ ආර්ථික සමෘද්ධීය සඳහා රාජ්‍ය්‍යක් ලබා දෙන දායකත්වයෙනි. ආර්ථික සමෘද්ධිය යනු අධික පොළියට ණය ලබා ගෙන ඉදිකිරීම් සිදු කිරීම නොවේ. රාජ්‍යයයේ අපනයන සඳහා දිරි දීම රටක ආර්ථිකයට සුවිශේෂීය.

ලංකාවේ මේ දක්වා අපනයන සඳහා වැඩි වශයෙන්ද දිරි දී ඇත්තේ විදේශ ඇමති කියන විජිතවාදීන්ය. එනම් ලංකාවේ ද්‍රෝහී රාජ්‍යයන්ය. විශේෂයෙන් වරණීය වෙළඳ ගිවිසුම් මගින් ලංකාවේ අපනය සඳහා තීරු බදු සහනයන්ද ඇතැම් විට සම්පූර්ණයෙන් තීරු බදු ඉවත් කිරීමේ සහනයන්ද සමගින් ලංකාවේ අපනයන සඳහා එක්සත් ජනපදයේ හා යුරෝපයේ වෙළඳ පොළ විවෘත වී ඇත. 2019 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවට අනුව ශ්‍රී ලංකාව වරණීය වෙළඳ ගිවිසුම් යටතේ එක්සත් ජනපද ඩොලර් මිලියන 4945.8 ක් සිදු කර ඇති අතර එය සමස්ත අපනයනයන්ගෙන් 41.4%කි. එකී අපනයන්ගෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 2766.3 ක් සිදු කර ඇත්තේ යුුරෝපා සංගමයටය. ඩොලර් මිලියන 709ක් ඇමරිකා එක්සත් ජනපදයටය. ඕස්ට්‍රේලියාවට, ජපානයට හා කැනඩාවට පිළිවෙලින් ඩොලර් මිලියන 85ක්, 84ක් හා 73ක් අපනයනය කර ඇත. එනම් ජිනීවාහිදී අපට සහයෝගය නොදෙන විදේශ ඇමති කියන විජිතවාදීන්ය. මැද පෙරදිග දහඩිය හෙළන ශ්‍රමිකයන්ගෙන් ලැබෙන විදේශ විනිමය කන්දරාවෙන් පසු ලංකාවේ ආර්ථිකය දරාගෙන සිටින්නේ මේ අපනයනයි. විදේශ ඇමතිගේ විජිතවාදීන්ට ලංකාවට එරෙහි යෝජනා සම්මත කරමින් කල් මරනවාට වඩා ඉතා පහසුවෙන් කල හැකි දෙය වන්නේ මෙම සහනයන් නවතා දැමීමයි. අවශ්‍ය  නම් ඔවුන්ට පහසුවෙන්ම ලංකාවේ අපනයන නැවැත්විය හැක.

මීඩියා ඉදිරියේ මාන්නක්කාර අවස්ථාවාදී කතා නොකියා විදේශ ඇමතිවරයා පවතින යථාර්තය අවබෝධ කර ගත යුතුය. මුග්ධ ආකාරයෙන් පසුගිය වතාවේ ශ්‍රී ලංකා රජය විසින් සම අනුග්‍රාහකත්වය දැක්වූ යෝජනාවෙන් ඉවත් වීම හේතු කොට ගෙන දැන් ශ්‍රී ලංකාවේ ගෙල සිරවීමේ මාර්ගය කැපීමේ යෝජනාවක් සම්මත වී ඇත. විශේෂයෙන් සිවිල් සමාජය මර්ධනය කරමින්, සිවිල් පාලනය මිලිටරීරණයේ දිශාවකට යොමු කරමින්, මානව හිමිකම් වගවීම් වලට පයින් ගසමින් කටයුතු කිරීම ආණ්ඩුව හිතන තරම් ලේසි නැති බව ආණ්ඩුව වටහා ගත යුතුය.

දුලාන් දසනායක.

Social Sharing
නවතම විශේෂාංග