මුළු කැබිනට් එකම සෞඛ්‍ය ඇමතිවරු කරන දිනය වැඩි ඈතක නෑ! – සමන් රත්නප්‍රිය

කොවිඩ් 19 ඉතා දරුණු වසංගතයක් බවට පත්ව ඇති බවත්, ඊට මුහුණ දිම සඳහා සෞඛ්‍ය ඇමතිවරු සිව් දෙනෙකු පත් කර ඇතැයිද, ඒ අනුව මුලු කැබිනට් එකම සෞඛ්‍ය ඇමතිවරු කරන දවස වැඩි ඈතක නොවන බවද හිටපු පාර්ල්මේන්තු මන්ත්‍රි, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසයි.

කලින් එක අමාත්‍යවරයෙක් යටතේ පැවති සෞඛ්‍ය ක්ෂේත්‍රයට දැන් ඇමතිවරු 04 ක් සිටින බවද ඒ පවිත්‍රා දේවි වන්නිආරච්චි, සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ, සිසිර ජයකොඩි, චන්න ජයසුමන යන අය බවත් නමුත් කොරෝනා වසංගතය පාලනය කර ගැනීමට ආණ්ඩුවට හැකියාවක් ලැබී නැතැයිද ඔහු පවසයි.

කොරෝනා පාලනයෙන් ගිලිහි ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයද කියා සිටින බව පෙන්වා දෙන ඔහු පවසන්නේ ඊට ආණ්ඩුවෙන් පිලිතුරක් නැති බවය.

එමෙන්ම මෙම තත්ත්වයේදී සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඉතා ඛේදජනක තත්ත්වයක සිටින බවත් ඔවුන්ට ප්‍රමාණවත් තරම් ආරක්ෂිත උපකරණ නැති බවත් ඊයේ වන විට ඔවුන්ට ලබා දී තිබු ප්‍රවාහන පහසුකම්ද අත්හිටුවීමට සෞඛ්‍ය ලේකම්වරයා  තීරණය කර ඇතැයිද ඔහු චෝදනා කර සිටියි.

අංගොඩ, කොලඹ ජාතික රෝහල, කලුබෝවිල ශික්ෂණ රෝහල ආදී රෝහල් වල ඊයේ දින ප්‍රවාහන පහසුකම් නතර වී හෙද නිලධාරීන් අනාථ වූ බවත්, මේ වන විට පුද්ගලික බස් හරිහැටි ධාවනය නොවන බවද පෙන්වා දෙන සමන් රත්නප්‍රිය මහතා කියා සිටින්නේ ධාවනය වන්නේ ලංගම බස් රථ පමණක් නිසා ඒවායේද ආසන ගණනට මඟින් ගෙන යන නිසා එයිනුත් දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදු වී ඇති බවයි.

රෝහල් වල වැඩ කර ඔවුන් බස් රථවලට නඟින බව මඟින් දැන ගතහොත් ඔවුන් අනවශ්‍ය කලබල වීමක් විය හැකි බවද කියා සිටින ඔහු පවසන්නේ රෝහල් වල කොරෝනා රෝගීන් සමඟ වැඩ කිරීම නිසා පහුගිය කාලයේ ඇතැම් සෞඛ්‍ය නිලධාරීන් නැවතී සිටි නවාතැන් වලින් පවා ඔවුන්ට පිටව යාමට සිදු වු බවය.

ඒ නිසා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වෙන්කොට තබා ගැනීම ආණ්ඩුවේ වගකිමක් බවද ඔහු පෙන්වා දෙයි.

Social Sharing
නවතම