අපරාද මඩින්න ගිහින් පසුගිය අවුරුදු පහේදී පොලිසියේ 15 ක් මිය ගිහින්! – සරත් වීරසේකර

අපරාධ මැඬලීමේ කටයුතුවල යෙදී සිටිය දී  ගත වූ වසර පහ තුළ පොලිස් නිලධාරීන් පහලොස් දෙනෙක් ජීවිතක්ෂයට පත් වී තිබේ.

පාර්ලිමේන්තුවේදී ඒ බව හෙළි වූයේ 2020 ජුනි මස සිට ඔක්තෝබර් 20 දක්වා හාරමාසයක කාලය තුළ පොලිස් අත්අඩංගුවේදී මිය ගිය සංඛ්‍යාව අටක් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වාර්තා කර තිබියදීය.

අපරාධ මැඬලීමේ කටයුතුවල යෙදී සිටිය දී, 2015 වර්ෂයේ සිට මේ දක්වා ඝාතනය වූ පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 15 ක් බව අලුතින් පිහිටුවන ලද මහජන ආරක්ෂක අමාත්‍යාංශය භාර රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර සඳහන් කළේ දෙසැම්බර් 4 සිකුරාදා පාර්ලිමේන්තුවේ දීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කළේ, සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යාමේ දී සහ රථවාහන සම්බන්ධ රාජකාරීවල දී ඔවුන් ඝාතනයට ලක් ව ඇති බවයි.

මිය ගිය එම පොලිස් නිලධාරීන්ගේ පවුල්වල සුබසාධන කටයුතු වෙනුවෙන් ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බව ද, සරත් වීරසේකර අමාත්‍යවරයා එහිදී  සදහන් කළේය.

නිලධාරීන්ට උසස්වීම්

ඊට අමතරව ක්ලේමෝ බෝම්බයක් බස් රථයක රැගෙනයමින් සිටි බවට සැක කෙරෙන දෙදෙනකු අත් අඩංගුවට ගත් ආරක්ෂක අංශ නිලධාරීන් දිරිමත් කිරීම සඳහා උසස්වීම් සහ විශේෂ ප්‍රදානයක් සිදුකිරීමට පියවර ගන්නා බවද අමාත්‍ය සරත් වීරසේකර  පාර්ලිමේන්තුවේදී වැඩි දුරටත් සඳහන් කළේය.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී  චමින්ද විජේසිරි නැගූ  පැනයකට  ප්‍රතිචාර දක්වමිනි.

එහිදී  අමාත්‍ය සරත් වීරසේකර තව දුරටත්  කියා සිටියේ  “ඔවුන් දිරිමත් කිරීම සඳහා විශාල මුදලක් ගෙවනවා. ඕනම හමුදාවක ඒ වගේ වැඩපිළිවෙලක් තියෙනවා. පොලීසියේ විශේෂයෙන්ම තියෙනවා. ඔවුන් ඒ වගේ සොයාගැනීමක් කරලා ඒ කරපු ක්‍රියාව අගය කිරීමක් අපි කරනවා,” යනුවෙනි.

ආබාධිත හමුදා සාමාජිකයන්ගේ පවුල්වලට මෙන්ම ක්‍රියාන්විතයේදී ආබාධිත වූ සහ මියගිය පොලිස් නිලධාරීන්ගේ යැපෙන්නන්ට ද ප්‍රතිලාභ ලබාදීමට ආණ්ඩුව පියවර ගනිමින් සිටින බවද හේෂා විතානගේ මන්ත්‍රීවරයා කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් සරත් වීරසේකර අමාත්‍යවරයා සදහන් කළේය.

“ඒ අයට අවුරුදු 55 වෙනකම් පඩිය ගෙවනවා. ඊට පස්සේ ගෙවන්නේ විශ්‍රාම වැටුපක්. ඒගොල්ලන්ගේ ඉල්ලීම තිබ්බේ යැපෙන්නන්, උදාහරණයක් හැටියට බිරිඳ මිය යනතෙක් ඒ මුදල දෙන්න කියලා. ඒ සම්බන්ධයෙන් කැබිනට් අනුකමිටුවක් පත්කරලා තියෙනවා. ඒ ප්‍රතිපාදනම දැන් පොලිස් නිලධාරීන්ටත් දෙන්න තීරණය කරලා තියෙනවා.” යනුවෙන් ද සරත් වීරසේකර අමාත්‍යවරයා සදහන් කළේය.

ආණ්ඩුව විසින් ලබන වසර සඳහා ප්‍රකාශයට පත්කර  තිබෙන අය වැය ලේඛනයෙන්  මෙවරත් වැඩිම වියදම ලෙස රුපියල් බිලියන 355ක්ම යොදවා ඇත්තේ ආරක්ෂක කටයුතුවලටය.

එය මුළු වැයෙන් 13.2% කි.

Social Sharing
නවතම