දැන් මාධ්‍යයේ ප්‍රධාන රාජකාරිය ජනමතය ගොඩනැගීම – මාධ්‍යවේදී  අජිත් පැරකුම් ජයසිංහ

සමාජ මාධ්‍යවල ආචාර ධර්ම සම්බන්ධවයෙන් ඇත්ත ගැටලුවකුත් තියෙනවා. සමාජ මාධ්‍ය යුගය කියන්නේ එක්තරා විදිහකට පස්සේ අර අතීතයේ තිබිච්ච මාධ්‍යකරුවන් වූ මාධ්‍යවේදියා සහ පුරවැසියා අතර වෙනස අවම වෙන කාලයක්. සමාජ මාධ්‍ය ආචාර ධර්ම පිළිබඳව ඇත්තටම ගැටලුවක් තියෙනවා. ගැටලු ඇතිවෙන්න හේතුවක් තමයි මේ සමාජ මාධ්‍ය යුගයේ මාධ්‍යකරුවෝ සහ පුරවැසියන් අතර පරතරය නැත්තං වෙනස අවම වෙලා තියෙන එක. අද වෙනකොට සමාජ මාධ්‍යවල තියන පහසුකම් නිසා ඕනෑම පුරවැසියෙකුට මාධ්‍යකරුවෙක් බවට පත්ව තමන්ගේ ප්‍රකාශනය  කරන මට්ටමෙන්ම එහාට ගිහිං ඒක වඩා වැඩි පිරිසක් වෙත සමීප කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා.

මේක පුරවැසි මාධ්‍ය කියලා හඳුන්වන්න පුළුවන්.  සමාජ මාධ්‍ය කියලා හඳුන්වන්නත් පුළුවන්. මේ මාධ්‍ය හසුරුවන්නේ බොහෝ වෙලාවට මාධ්‍ය පිළිබඳ පුහුණුවක් තියෙන අය නෙවෙයි. ඒ අය මාධ්‍ය සම්බන්ධ අවම මූලික කාරණාවත් සමහර විට ඉගෙනගෙන නැහැ. තමන්ගේ ඉවකින් සහ තාක්ෂණික දැනුම මත පදනම් වෙලා සහ මාධ්‍ය පරිහරණය කරල මාධ්‍ය ඇසුරු කරලා ලබාගත් අත්දැකීම් ඔස්සේ තමයි කටයුතු කරන්නේ. මෙතන අර මාධ්‍ය යුගයේ තියෙන සංස්කාරක භූමිකාවේ අඩුව නිසා පුරවැසියාගෙ මොකක් හරි අන්තර්ගතය සංස්කරණය කරන්න කෙනෙක් නෑ. එම පුරවැසියා විසින්ම සංස්කරණයකින් තොරව තමන්ට හිතෙන පරිදි ඒ දේ ප්‍රචාරය කිරීම ඇත්තටම ගැටලුවක්. මේ නිසා සමාජ මාධ්‍ය යුගයේ පළවෙන දේවල්වල අන්තර්ගතය පිළිබඳ අවුල් තියෙනවා. හැබැයි ඒක පාලනය කරන්න බැරි දෙයක් නෙමෙයි. මේ සඳහා එක පැත්තකින් අධ්‍යාපනය අවශ්‍යයි.  පොදුවේ මාධ්‍ය පිළිබඳව අධ්‍යාපනයක් ලබා දෙනවා නම් සහ විශේෂයෙන්ම මේ හඳුනාගත හැකි කැපී පෙනන සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කර පුහුණු කරනවා නම්, වෙලාවට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා නම්, ඒක කරන්න බැරි කමක් නෑ.

මේ සමාජ මාධ්‍ය යුගයේ මේ තියෙන ගැටළු විසඳාගැනීම සඳහා මේක දැඩි පාලනයකට ලක් කරන්න අවශ්‍යතාවක් නෑ. මේ නිදහස ඇතුලෙම තියෙන දේවල් පාවිච්චි කරල ඒ තියෙන ගතිකයන් පාවිච්චි කරල යම්කිසි ආකාරයේ ගුණාත්මක අන්තර්ගතයක් නිකුත් කරන කෙනෙක් බවට පුරවැසි මාධ්‍යවේදියා පත් කරන්න පුළුවන්.  මේ වෙනකොට ජාත්‍යන්තර සමාජ මාධ්‍ය කොම්පැනි ලංකාවේ දැන්වීම් පළ කරලා විශාල ආදායමක් රටෙන් පිටට  සත පහක්වත් බදු ගෙවන්නෙ නැතුව අරන් යනවා. මේක විශාල  ගැටලුවක්. අපේ රටේ මාධ්‍ය ආයතන විශේෂයෙන් පුවත්පත් ආයතන පවත්වාගෙන යන්න බැරි තත්ත්වයක් තියෙනවා මේ දැන්වීම් පිළිබඳ ගැටලුව නිසා. මාධ්‍ය ආයතන වැහි වැහි යද්දී එහි සියළු ආදායම්, ප්‍රචාරක දැන්වීම් ආදායම් සියල්ලම අද වෙනකොට ෆේස්බුක් එකට, ගූගල් කම්පැනියට යූටියුබ් එකට එහෙම යන තත්ත්වයක් නිර්මාණය වෙලා තිබීම විශාල ප්‍රශ්නයක්.

දේශපාලන රැකවරණ

ලංකාවෙ තියෙන ආර්ථික සමාජ දේශපාලනික අවිනිශ්චිතභාවය නිසා ලංකාවෙන් පිටතට සංක්‍රමණය වීමේ ප්‍රවණතාවක් තියෙනවා. විශේෂම තරුණ පරපුර මේ සංක්‍රමණය සඳහා විවිධ ක්‍රම පාවිච්චි කරනවා එක ක්‍රමයක් තමයි අධ්‍යන වීසා ලබාගෙන සංක්‍රමණය වීම, එහෙම නැත්නම් වෘත්තිකයන්ට සංක්‍රමණය වෙන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඔය අතරේ තව එක් ක්‍රමයක් තමයි දේශපාලන රැකවරණ ලබාගෙන සංක්‍රමණය වෙන එක. විදේශවලට සංක්‍රමණය වීම තමන්ගේ ජීවිතයේ අරමුණු කරගත් අය, මේ අය මාධ්‍යවේදියෝ නෙමෙයි, නමුත් මාධ්‍යවේදීන් විදිහට රඟපාමින් තමන් මර්දනයට ලක්  වුණයි කියමින් නාට්‍ය ජවනිකා නිර්මාණය කරමින් හෝ එහෙම නැත්නම් පිටතට ගිහිල්ලා යම් යම් ආකාරවලට ඒවා නැවත ප්‍රතිනිර්මාණය කරමින් දේශපාලන රැකවරණ ඉල්ලීම් ගැටලුවක් වෙලා තියෙනවා. ඇත්තටම ඉතින් ඒක වැඩිපුර කරන්නේ මාධ්‍යවේදීන් නෙමෙයි. අද තියන ප්‍රශ්න ඇවිල්ලා මාධ්‍ය එක්ක සම්බන්ධයක් නැති කෙනෙක් සොයා ගැනීමට අසීරුවිම.  හැම කෙනෙක්ම මාධ්‍යවේදියෙක් නිසා ඕන කෙනෙකුට කියන්න පුළුවන්  බ්ලොග් එකක් පටන් අරගෙන මගේ බ්ලොග් ලිපි නිසා මට මෙහෙම වුණා කියලා. මොකක් හරි එහෙම දෙයක් නිර්මාණය කරන්න පුළුවන්. එක වළක්වන්න අමාරු ප්‍රශ්නයක්. අනිත් පැත්ත තමයි මේ ජනමාධ්‍ය විෂයේ මේ කාලයෙ දකින්න ලැබෙන දෙයක් තමයි ජනමාධ්‍ය තමන්ගේ ප්‍රධාන භූමිකා බවට පත්කරන තිබෙන එක ජනමතය ගොඩනගන්න. ජනමාධ්‍ය සහ ජනමතය ගොඩනැගීම අතර ඉතිහාසයක් පුරාම සම්බන්ධයක් තියෙනව. මේ දෙක වෙන් කරන්න පුළුවන්ද බැරිද කියන එකත් ප්‍රශ්නයක්. නමුත් අද වෙනකොට ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම පවා එහාට ගිහිල්ලා ප්‍රවෘත්තියත් එක්කම මතය ඉදිරිපත් කරනවා. සමහරවිට ප්‍රධාන ප්‍රවෘත්ති විකාශ වල අපි දකිනවා ප්‍රවෘත්ති නෙමෙයි යන්නේ මතයක් ඉදිරිපත් ඉදිරිපත්  කරන එක තමයි යන්නේ.  රජයේ මාධ්‍යවලින් ආරම්භ වෙලා අද වෙන කොට පෞද්ගලික මාධ්‍ය රජයේ මාධ්‍ය වලටත් වඩා ආන්තික විදියට ඒගොල්ලො ප්‍රධාන කාර්යය බවට පත් කරගෙන තිබෙනවා මේ ජනමතය ගොඩනැගීම.

මෙතනදී මාධ්‍ය ආචාර්‍ය ධර්ම නොසලකා හැරලා, යම් ප්‍රශ්නයක් දෙස හැම පැත්තකින්ම බලලා කරුණු ඉදිරිපත් කරලා තීරණ ගැනීම පාඨකයාට හෝ ප්‍රේක්ෂකයාට ලබා දෙන  මාධ්‍ය සාම්ප්‍රදාය දැන් ලංකාවේ දක්නට නැහැ.  ආසන්න උදාහරණයකින් ගත්තොතින් මේ ආණ්ඩුව බලයට ගේන්න දෙරණ, හිරු, මාධ්‍ය ජාලා  කරපු කාර්යභාරය ගන්න පුලුවන්. අනෙක් අතට මේ වෙනකොට සිරස මාධ්‍ය ජාලය විසින් නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් කරපු මාධ්‍ය කාර්යභාරය, එයත් නීදර්ශනයක්. බොහොම සියුම් විදිහට ආණ්ඩුවට විරුද්ධ සියලු මත, ජනමාධ්‍යන් එහාට ගිහිල්ලා එක්තරා විදිහක සංවිධායකකට යටත් කරන්න සිරස කටයුතු කළා. එහෙම එකතු කරල ඒගොල්ලො  ලොකු ජනමතයක්  හැදුවා ආණ්ඩුවට විරුද්ධව  නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන්. මේ ආණ්ඩුව ඒ කාරණය ගැන ඇත්ත කියන්න ඉදිරිපත් උනෙත් නැහැ. අවසානයේ දී ආණ්ඩුවේ ආර්ථික උපාය මාර්ගවලට බරපතළ ගැටලු සහගත තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා මේ වෙනකොට.  එහෙම  උනයින්  පස්සේ එන ගැටලුව තමයි ඊළඟට ආණ්ඩුව මොකක්  කරයිද කියන එක.  එක්තරා විදියකට දුර්වල චරිත ලක්ෂණ තියෙන අය බිත්තියට හේත්තු කරනවයි කියන එක, ඒක හරි අවදානම් සහගත දෙයක්.  මාධ්‍යවලින් ඒක ඇත්තටම කරමින් ඉන්නවා.

Social Sharing
නවතම විශේෂාංග