මළමිනී සොයා ගෙන යන මාධ්‍ය සංස්කෘතියක් අපේ රටේ තියෙන්නේ!

මාධ්‍යවේදී චන්දන සිරිමල්වත්ත

දැන් ලංකාවෙ ජන මාධ්‍යය භාවිතය පිළිබඳ ප්‍රබල විවේචන ඉදිරිපත් වෙලා තියෙනවා. ඝාතනයක් හෝ සමාජ සංවේදී සිදුවීමකදී මාධ්‍යය හැසිරෙන ආකාරය බොහෝවිට ගැටලු සහගතයි. ඔබ මේ විවේචන ගැන දරන අදහස මොකද්ද?

ලංකාවේ මාධ්‍ය භාවිතය සම්බන්දයෙන් මම බොහෝ වතාවල අදහස් දක්වලා තියෙනවා. මේ මෑතකදී තරුණියක් ඝාතනයට ලක් වූ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යය හැසිරුණ ආකාරය පිලිබඳ නොයෙක් අදහස්, විවේචන පළ වුණා. තවමත් මළමිනී සොයා ගෙනයන මාධ්‍ය සංස්කෘතියක් අපේ රටේ තියෙනවා. මේක මේ පලවෙනි සිදුවීමත් නෙවෙයි. අවසාන සිදුවීමත් නෙවෙයි කියන දෙය අපි දන්නවා. ඇතැම් අවස්ථාවල සේයා සදෙව්මි සිදුවීම වගේ අවස්ථාවක් ගත්තොත් මාධ්‍යය මොන තරම් වගකීම් විරහිතව කටයුතු කළා ද කියන කරුණ පැහැදිලියි. එතකොට මාධ්‍යයවේදියෙක් විදිහට වැඩකරන අය සමාජය තුළ ඉදගෙන කරන්නේ මොනාද? වාර්තාකරන දේවල් ගැන වඟකීමක් තියෙනවද? මාධ්‍යවේදියෙක්ට ආයතනගත රාමුවක් තියෙනවා, මාධ්‍ය ආයතන වෙළඳ ව්‍යාපාර සමඟ බද්ධ යි. ඔවුන් වාණිජ පරමාර්ථයෙන් ඇතැම් පුවත් හිතාමතාම අවධාරණයට ලක් කරනවා. ඒ වගේම ඇතැම් පුවත් මග හරිනවා. මෙවැනි තෝරා ගත් දේවල් වෙළෙඳපොළට ඉදිරිපත් කරන මාධ්‍යය සංස්කෘතියක් තමයි මේ රටේ තියෙන්නේ.

මේ තත්වය වටහාගෙනයි අපි මාධ්‍යය දෙස බලන්නත් ඕනේ. එ වගේම ජනමාධ්‍ය තුළ ඉන්නෙත් අපේ රටේ  සමාජය නියෝජනය කරන සාමාන්‍ය පුද්ගලයො. එනිසා මාධ්‍යවේදින්ටත් අපේ විවේචනයක් තියෙනවා. ඔවුන්ව වෘත්තිකයන් විදිහට වැටුප් ගෙවලා නඩත්තු කරමින් තමන්ගේ අවශ්‍යතා වෙනුවෙන් වෙළඳපොල නිර්මාණය කර ගන්න කටයුතු කරන මාධ්‍ය ව්‍යාපාර ගැනත් අපේ විවේචනයක් තියෙනවා. මේ දෙපැත්තම අපි බලන්න ඕනෑ . ඒ වගේම අපි තේරුම් ගන්න ඕනෑ අපේ සමාජය මුහුණ දෙන ප්‍රශ්ණ මොනවද? සමාජයේ ඉරණම මොකද්ද? අපේ සමාජයේ මිනිස්සු  මේ ආකාරයට අමානුෂිකව ඝාතනයට ලක්වීම, ඒ පුද්ගලයා මුණ දෙන තත්වය. මේ හැමෝම අවසානයේ යම් අයුරක ගොදුරක්. එසේ වෙන්නේ අපේ සමාජය ඉතාම පහත්, මානව වටිනාකම් මිනිසත්කම බිඳ දමන ලද සමාජයක්. මේ තත්වය තුළ අපි මේක තේරුම් ගන්න ඕනෑ.

මනුෂ්‍යත්වය බිඳ දැමීම තුළ ඇති කරපු කම්පනය එක පැත්තකින් තියෙනවා. මිනිස් ජීවිතය ඇතුළෙ එක් එක් පුද්ගලයා අනිකුත් මිනිසුන් කෙරෙහි දක්වන ගෞරවය, ආදරය, බිඳ වැටීමට ලක් වෙලා තියෙනවා. මනුෂ්‍ය ප්‍රේමය, ලිංගිකත්වය ඉතා නරක උපයෝගිතා තත්වයකට පත් වෙලා තියෙනවා. මිනිසුන් ගොදුරු කරගන්න ආකාරයේ, තරුණයෙක් හෝ තරුණියක් අතර ප්‍රේමය අවසානයේ ඔවුන්ව ගොදුරක් බවට පත් වෙන තත්වයක් ඇති වෙලා තියෙනවා. අනික් පසින් මේ සිදුවීම්වල එක් එක් පාර්ශව ගොදුරු කර ගන්න මාධ්‍ය සංස්කෘතියක් බිහි වෙලා තියෙනවා. මේ සියල්ල එක්ක තමයි මේ සිදුවීම්, මේ ප්‍රවෘත්ති අපිට එදිනෙදා අහන්න දකින්න ලැබෙන්නේ. අපේ සමාජය තේරුම් ගන්නේ නැහැ මේ දේවල් යම් වෙනත් අරමුණු සමඟ බැඳුනු කාරණා කියලා. අපි එක්කෝ ඒ සිදුවීමට අදාළ පුද්ගලයා කුරුසියේ තියලා ඇණ ගහනවා. එහෙම නැත්නම් ඔවුන් වැරදිකරුවන් කරනවා. ඇතැම්විට මේ මාධ්‍යය විසින් දෙන තොරතුරට වඩා වෙනස් දේවල් පසුකාලීනව අනාවරණය වෙනවා. ඒ නිසා මෙය සබුද්ධිකව තේරුම් ගන්න ඕනෑ. අනිත් කරුණ මේ තත්වය වෙනස් කර ගන්න කටයුතු කරන්න ඕනෑ.

මම මාධ්‍යවේදියෙක් වශයෙන් උත්සාහ කරන්නේ ඇත්තටම මේ තත්වය එක පැත්තකින් ජන සමාජයට අවබෝධ කරලා දෙන්න. ඒ වගේම ජන සමාජය තුළ මේ තියෙන පසුගාමී, නරුම තත්වය වෙනස් කිරීමේ දේශපාලන ක්‍රියාවලියක් අවශ්‍යයි. ඒක දැනුවත් වීමේ ක්‍රියාවලියක්, ක්‍රියාත්මක වීමේ ක්‍රියාවලියක්. ඒ වගේම එය යම් අයුරකින්  මීට වඩා මනුෂ්‍ය පරමාර්ථ පදනම් කර ගත් ව්‍යාපාරයක් විය යුතු බවයි මම විස්වාස කරන්නේ.

මාධ්‍යය නියාමනය කිරීම වෙනුවෙන් ඇති කළ පුවත්පත් මණ්ඩලය නැවත වතාවක් සක්‍රීය කිරීමේ කතිකාවක් මේ වෙනකොට ඇති වෙලා තියෙනවා. හැබැයි අපි දන්නවා මේ නියාමනය පිටුපස යම් ආකාරයකින් ක්‍රියාත්මක වෙන්නෙ මර්ධනය. මේ ගැන ඔබේ අදහස කිව්වොත්?

මේ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ සිදුවන දේවල්, අනිත් පැත්තට දැන් සමාජ මාධ්‍ය තුළ ඒ වගේම පුවත්පත් හෝ විද්‍යුත් මාධ්‍යය පැත්තෙන් සිදුවන දේවල් පාලකයන් විසින් භාවිතා කරනවා තමන්ගේ අවශ්‍යතා ඉටු කර ගන්න. මාධ්‍ය වාරණය ස්ථානගත වෙන්නේ එතන. 1973 මර්ධනකාරී පියවරක් ලෙස ආරම්භ කළ පුවත්පත් මණ්ඩලය යම් අයුරකින් අක්‍රීය වුණා, මාධ්‍යය සමාජය තුළම ස්වේඡාවෙන් තමන්ව නියාමනය කරන ක්‍රියාවලියක් ඇති වීම නිසා. නමුත් දැන් වෙනකොට පාලකයන්ට, විශේෂයෙන් වත්මන් ආණ්ඩුවට අවශ්‍යය වෙලා තියෙනවා පුවත්පත් මණ්ඩලය නැවත බලාත්මක කරලා එහි නීති මගින් ජනමාධ්‍යය වාරණයට ලක් කරන්න. මෙතෙක් කල් මුද්‍රිත මාධ්‍යය වාරණය කිරීමේ අවශ්‍යතාවය යම් ආකාරයකට පුවත්පත් මණ්ඩලයෙන් ඉටු වුනා ද එය දැන් විද්‍යුත් මාධ්‍යය, සමාජ මාධ්‍යය වාරණය දක්වා ගෙනියන්න උත්සහයක් ගන්නවා. එතකොට නීති සංශෝධන එන්නෙ පාලකයන්ගේ අවශ්‍යතාවය වෙනුවෙන් ජනමාධ්‍යය පාලනය කරන්න. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, තොරතුරු දැන ගැනීමේ අයිතිය මේ සියල්ල පාගා දමන පියවරකට තමයි මේ එන්න සූදානම් වෙන්නේ.

තොරතුරු දැන ගැනීමේ ක්‍රියාවලිය මාධ්‍යය හරහා ලබා ගන්න නම්, ජනමාධ්‍ය නිදහස්ව අදහස් ප්‍රකාශ කරන, නිදහසේ තොරතුරු ලබා දෙන ආයතන බවට පත් විය යුතුයි.  නමුත් මේ වෙළෙඳ ක්‍රියාවලිය තුළ ඒක එහෙම සිදුවෙන්නේ නැහැ. අනික් පැත්තෙන් දේශපාලන බලය හා  බැඳුනු ක්‍රියාවලියක් විදිහට පාලකයන්ගෙ පැත්තෙන් මාධ්‍යය පාලනය කරනවා. එය කරන්නේ යහපත් අරමුණකින් නෙවෙයි. දේශපාලන බල අරමුණු වෙනුවෙන්. ඒ නිසා මේ සම්බන්ධයෙන් දැනුවත්ව ක්‍රියා කරන්න ඕනෑ. එක පසකින් මාධ්‍යයවේදීන්, මාධ්‍යය සංවිධාන හැටියට. ඒ වගේම සිවිල් සමාජයට, දේශපාලන ක්‍රියාකාරකයින්ට ඒ වගේම දේශපාලන පක්ෂ සහ මහජනතාවටත් මේ ගැන වගකීමක් තියෙනවා කියලා මම හිතනවා.

Social Sharing
නවතම සාකච්ඡා