නැගෙනහිර ජැටියේ මොකද වෙන්නේ?

eastern terminal of the port of colombo

තොරතුරු අනුව ඊයේ (28) උදේ සිට නැගෙනහිර ජැටියෙ මෙහෙයුම් කරලා තියෙන්නෙ කන්ටේනර් 13,100ක ධාරිතාවය තියෙන මීටර් 366ක් දිග MSC Topaz නෞකාව. ඒකෙ කන්ටේනර් 1000කට ආසන්න ප්‍රමාණයක් ඒ ජැටියෙදි මෙහෙයවලා තියෙනවා.

ඒ නැව පිටත් උනාම අද මධ්‍යම රාත්‍රිය පසු වෙනවාත් සමඟ තව ටික වෙලාවකින් නැගෙනහිර ජැටියට එනවා කන්ටේනර් 11,500ක ධාරිතාවය තියෙන මීටර් 330ක් දිග MSC Alanya නෞකාව. කොළඹට එනකොට ඇය මුහුද තුලට මීටර් 14.7ක් ගිලිලා (එයාගෙ Draught එක) තමයි එන්නේ. ඒ ලෝඩ් එක එක්ක ඇයට මීටර් 14ක් පමණ ගැඹුරක් තියෙන අපේ ජය බහාලුම් පර්යන්තය (JCT) තියෙන පැරණි වරාය කොටසට යන්න බෑ. ගැඹුර මදි. එයා අරගෙන එන කන්ටේනර් 2800ක් කොළඹ ගොඩබාන්න තියෙනවා. ඒ කන්ටේනර් 2800ක් මෙහෙයවන්න පැය 24කට වඩා කාලයක් යනවා සාමාන්‍යයෙන්. හැබැයි එච්චර වෙලාවක් ඇයට තමන්ගේ ජැටියෙ ඉඩදෙන්න අපේ නැගෙනහිර ජැටියට බැහැ. මොකද හෙට දවාලෙ එයාටත් වඩා ලොකු එක්කෙනෙක් බලාපොරොත්තු වෙනවා අපේ ජැටිය. ඒ නිසා අද රෑ පුරා MSC Alanya නෝනා ගෙනාපු කන්ටේනර් 800ක් ගොඩබාලා එයාගෙ Draught එක අඩු කරලා අද දවාලෙ එයාව ජය බහාලුම් පර්යන්තයට යවනවා ඉතුරු ටික ගොඩබාන්න.

ඊට පස්සේ අර බලාපොරොත්තුවෙන් ඉන්න, පහල පොටෝ එකේ යෝදයා වගේ ඉන්න MSC Beatrice නෝනා එනවා දහවල් කාලයේ. එයාගෙ ධාරිතාවය කන්ටේනර් 13,800යි. දිග මීටර් 366යි. කොළඹ කරන්න තියෙන කන්ටේනර් මෙහෙයුම් ගණන 2750ක්. එයාගෙ Draught එක මීටර් 16.1ක්. අපේ පැරැණි වරාය පැත්තට කොහොමවත් එන්න බැහැ. එයාව මීටර් 18ක් ගැඹුරු නැගෙනහිර ජැටිය තියෙන අළුත් වරාය ඇතුලට ගන්න වෙන්නෙත් වඩදියත් (High Tide) එක්ක. මේ Draught එක එතරම් විශාලයි.

MSC Beatrice නෝනා හෙට දවාලේ පිටත් වෙනකොටම නැගෙනහිර ජැටියට එන්න තියෙන්නෙ එයාගෙ ප්‍රමාණයේම කන්ටේනර් ධාරිතාවය 13,800ක් තියෙන සහ ආපහු මීටර් 16ක Draught එකක් එක්ක කොළඹ එන MSC Eva නෝනා. අරයා වගේම බරටම ගිලිලා එයත් එන්නෙ කන්ටේනර් 1805ක මෙහෙයුමකට.

පැය 72ක් තුල එකා පසුපස එකා ලෙස යෝද නෞකා 4ක්. කන්ටේනර් 8355ක මෙහෙයුම් ප්‍රමාණයක්.

තවම නැගෙනහිර ජැටියෙ තියෙන්නෙ එක ප්‍රධාන නැව් තොටුපලයි. අර වරාය සේවකයො ඔය ජැටිය විකුණං කන්න හදපු පරපුටු දේශපාලුවොන්ට විරුද්ධව දිවි හිමියෙන් සටන් කරලා නැගෙනහිර ජැටියෙ ගොඩබාගත්තු ප්‍රමාණයෙන් කුඩා ගැන්ට්‍රි දොඹකර 3යි. ඒවා අද ශ්‍රී ලංකා වරාය අධිකාරියට බිස්නස් හොයලා දෙනවා. ආදායම ගේනවා. මේ ජැටිය නොතිබෙන්න මේ නැව් හතරෙම බිස්නස් වරාය අධිකාරියට නැති වෙනවා. බොහෝ විට රටටත් නැති වෙනවා. එදා මේ ජැටිය බේර ගන්න එකතු වෙච්ච හැම පුරවැසියාටම සතුටු වෙන්න පුළුවන් බය නැතිව.

දැනට වැඩ යන විදිහට තව මාස දෙක තුනකින් මේ ජැටියට ගැලපෙන ලෝකයේ ලොකුම බහාලුම් නෞකාවක උනත් මෙහෙයුම් කරන්න පුළුවන් විශාල ප්‍රමාණයේ ගැන්ට්‍රි දොඹකර ඇණවුමේ පළමු කොටස කොළඹට ලැබෙන්න නියමිතයි කියනවා. එතකොට ලෝකයේ විශාලතම නැව් අපිට මේ ජැටියෙදි දකින්න පුළුවන් අනිවාර්යයෙන්ම. දැනට යන කාල සටහනට අනුව 2025 දෙවන කාර්තුවේදී මේ ජැටියේ ඊලඟ අධියරත් සම්පූර්ණ වෙලා කොළඹ වරායේ අනාගත හදවත උපරිම ජවයෙන් රටට ඩොලර් තව තව හොයලා දේවි.

  • විශ්ව චින්තන
Social Sharing
අවකාශය නවතම විශේෂාංග