වැලැක්විය තිබූ ඛේදවාචකයට වගකිව යුත්තෝ අද අපෙන් ප්‍රශ්න කරනවා! – කෙහෙළිය

පාස්කු ප්‍රහාරයේ සම්පූර්ණ සුළමුල සොයා ගැනීම සඳහා එහි පරීක්ෂණ කටයුතු කඩිනම් කොට ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන ලද ජනාධිපති කොමිෂන් වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුවට මේ වන විට ඉදිරිපත් කර ඇතැයි අද (07) මහනුවර සිරිමල්වත්තේ දී පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා කීවේය.

කුණ්ඩසාල ප්‍රාදේශීය සභාවේ රුපියල් ලක්ෂ 18 ප්‍රතිපාදන මත ඉදිකරන ලද සේවා පියස සහ බහු කාර්ය ගොඩනැගිල්ල මහජන අයිතියට පත් කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන ලද ජනාධිපති කොමිසම් වාර්තාව පිළිබඳව පාර්ලිමේන්තු විවාදයකට දින වෙන් කර ඇතැයි කී අමාත්‍යවරයා තවදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එවකට රාජ්‍ය නායකයන් එහි වගකීම භාර නොගත්තා සේම ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූයේ බොහොම සැහැල්ලුවෙන්.

ප්‍රජාතන්ත්‍රවාදී රටක කළු ඉරිදාවක් සැමරීම අර්බුදයක් නොවන නමුත් ප්‍රහාරය වළක්වා ගැනීමට සහ වරදකරුවන්ට දඬුවම් ලබා දීමට ඉදිරිපත් නොවූ පාර්ශව වත්මන් රජයට ඇඟිලි දිගු කිරීම ඉතා හාස්‍ය සහගත කරුණක්.

ඇතැම් අපාරාධ සිද්ධි සම්බන්ධයෙන් දිනක් දෙකක් වැනි කෙටි කාලයක් ඇතුළත කරුණු හෙළිකර ගත හැකි වුවත් සංකීර්ණ සිද්ධියක් සම්බන්ධයෙන් ආරක්ෂක අංශවලට කරුණු අනාවරණය කර ගැනීමට ඇතැම් විට වසර කිහිපයක් ගත වෙනවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ ඇවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති මහතාට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් ඔහු සතු සාක්ෂි සහ කරුණු නොපමාව පරීක්ෂණ මෙහෙයවන අංශ වෙත භාර දිය යුතුයි. ඒ තුළින් පරීක්ෂණ කඩිනම් කිරීමට හැකියි. නමුත් ඔහු කරන ලද එම ප්‍රකාශය අසත්‍යක් නම් එයින් අනාවරණය වන්නේ ඔවුන්ගේ දේශපාලනික  කුහකත්වය යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.

වරාය බටහිර පර්යන්තය ඉන්දියාවේ අදානී සමාගමට ලබා දීම පිළිබඳව කරන ලද සාකච්ඡා සම්බන්ධයෙන් අමාත්‍යවරයාගෙන් කළ විමසීමේදී ඒ පිළිබද විෂයභාර අමාත්‍යවරයා කරුණු හෙළි කරනු ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Social Sharing
නවතම