පාස්කු දිනයේ ආරක්ෂාව

ලොව පුරා කිතුනු බැතිමතුන් අද (04) විශේෂ දිනයකි. ඒ  පාස්කු දිනය සැමරීම අදට යෙදි ඇති නිසාය.  කිතුනු ජනතාවගේ උතුම්වූ මංගල්‍යය වන්නේ පාස්කුවය. ලොව පුරා විසිරි සිටින කිතුනු බැතිමතුන්, අලු බදාදා ආරම්භවන දින 40ක කාල පරිච්ඡේදයක් ක්‍රිස්තූන් වහන්සේගේ දුක් ප්‍රාප්තිය සහ මරණය සිහි කරමින් අධ්‍යාත්මික වතාවත්හි නිරතවන අතර පාස්කු ඉරුදින ඔවුන් උන්වහන්සේගේ උත්ථානවීම සමරනු ලබයි.

එසේ පාස්කු ඉරු දිනක් වු 2019-04-21දා මෙරට දේවස්ථාන ඇතුලු ස්ථාන අටක බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල වු බව අපට අමතක නැත.

ඒ නිසා  මෙම වසරේ පාස්කු ඉරිදා දිනය 2019 දී පාස්කු ඉරිදා ත්‍රස්ත බෝම්බ ප්‍රහාරයට ලක්වුවන් ද සිහිකරනු ලබයි.  එම නිසා  ශුද්ධ වූ සතිය තුල සහ පාස්කු ඉරිදා දිනයේ රට තුළ ආරක්‍ෂාව තවදුරටත් තර කිරීමට ආරක්‍ෂක අමාත්‍යාංශයේ අවධානය යොමු කර ඇත.

මේ වන විටත් ආරක්‍ෂක අංශ දැඩි විමසිල්ලෙන් පසුවන බවත්  ශ්‍රී ලංකා පොලිසිය සමඟ සම්බන්ධතාවයෙන් යුතුව ත්‍රිවිධ හමුදාවට සියළු ආරක්‍ෂක විධිවිධාන යොදවන ලෙස උපදෙස් ලබාදී ඇතැයිද ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානීට සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ට විශේෂිත උපදෙස් නිකුත් කර ඇති අතර අන්තවාදය, ප්‍රචණ්ඩත්වය හෝ  භීෂණය හා සම්බන්ධ  ක්‍රියාකාරකම් පිළිබඳව විමසිල්ලෙන් සිටින ලෙසත් එවැනි ක්‍රියාකාරකම් පිළිබඳව තොරතුරු ඇත්නම් වහාම නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් වෙත දැනුම් දෙන ලෙසත්, දේවස්ථාන විසින් පත්කරන ලද සෝදිසි කමිටු ඇතුළු බැතිමතුන්ගෙන් හා මහජනතාවගෙන් ඉල්ලා සිටී.

ශුද්ධ වූ සතියේ සහ පාස්කු ඉරිදා දිනයේ බැතිමතුන් සහ දේවස්ථාන විසින් සිදුකරන දේවමෙහෙයන්, උත්සව හා වෙනත් ක්‍රියාකාරකම් වලදී නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන මෙන්ද, ආරක්‍ෂක අමාත්‍යාංශය දේවස්ථානවලින් සහ බැතිමතුන්ගෙන් ඉල්ලා සිටී.

ආරක්ෂාව වෙනුවෙන් පොලීසියේ 9356 ක්, විශේෂ කාර්ය බලකායේ 146ක් සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 2540 ක් යොදවා ඇත.

-ශානි-

Social Sharing
නවතම