“පාස්කු ප්‍රහාරය” මීළඟට පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාරත්

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිදුව වසර දෙකකට ආසන්න කාලයක් ගත වුවද තවම ඒ පිලිබඳ ඇත්තේ උණුසුම් කථා බහකි.  මේ ප්‍රහාරය සම්බන්ධව සොයා බැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව විසින් මේ වන විට ඔවුන්ගේ වාර්තාව ලබා දී ඇත. එමෙන්ම මේ සම්බනධ පොලිසීයේ විමර්ශන පිලිබඳව මහජන ආරක්ෂක අමාත්‍යවරයා පහුගියදා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්ද කළේය. කාදිනල් හිමියන්ද එක හඬින් ඉල්ලා සිටින්නේ මේ ප්‍රහාරයට වගකිව යුත්තට දඩුවම් පමුණුවා අගතියට පත් පිරිසට සාධාරණයක් ඉටු කරන ලෙසය.

මෙවන් පසුබිමක් තුල පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධ මාතෘකාව දේශපාලන වේදිකාවේ උණුසුම් වී ඇත. එහිදී එකිනෙකා එකිනෙකාට චෝදනා කර ගනිමින් සිටිති. මේ පාස්කු කථා නිසා දැන් පොලීසියටද වැඩ වැඩි වී ඇත. ඒ දිගින් දිගටම එකිනෙකාගේ නම් සම්බන්ධ කර කරන ප්‍රකාශ නිසා විමර්ශන පැවැත්වීමට සිදු වීම නිසාය.

පහුගිය දවස් වල හිටපු අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන්වා තිබුනේ ඔහු සිදු කළ ප්‍රකාශයක් නිසාය. ඒ පාස්කු ප්‍රහාරයට ජනාධිපති, බැසිල් රාජපක්ෂ හා නිශ්ශංක සේනාධිපතිගේ සම්බන්ධයක් තිබු බවට ජන හමුවකදී පැවසීම නිසාය.

ඔහු නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පැය ගණනාවක ප්‍රකාශයක් ලබා දී ගියේය. මේ අතර හිටපු ආණ්ඩුකාර අසාද් සාලි ද ෂරියා නීතිය ගැන කියන්නට ගොස් අත්අඩංගුවට පත් විය. ඒ ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම විසින් ඒ සම්බන්ධළු කළ පැමිණිල්ලක් නිසාය.

අමාත්‍ය විමල්  වීරවංශ මහතාද පාස්කු ප්‍රහාරයට හිටපු අමාත්‍ය රිෂාඩ් බදීයුදීන්ගේ සොහොයුරා සහරාන් හෂීම් සමග දුරකථන සංවාදවල නිරත වූ බවට චෝදනා නැඟිම නිසා රිෂාඩ් බදීයුදීන්ද පොලිසියට පැමිණිලි කර තිබුණි. එහිදී අධිකරණයෙන් අමාත්‍ය විමල් වීරවංශ මහතාට හා මාධ්‍ය ආයතන තුනක් වෙත වාරණ නියෝගයක් නිකුත් කර තිබුණේ පහුගිය සතියේය.

මේ පාස්කු ප්‍රහාර මාලාව සම්බන්දයෙන් ඈදුනු අලුත්ම නම වන්නේ වත්මන් රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක මේජර් ජනරාල් සුරේෂ් සලේ ගේ නමය.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිදුකළ සහරාන් හෂීම් සහ රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා අතර සම්බන්ධයක් ඇති බවට පහුගිය 17 දා සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර විසින් ප්‍රකාශ කර තිබුණි.

මේ සම්බන්ධව රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලිඛිත පැමිණිල්ලක් සිදුකර ඇත.

ඒ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සහරාන් හෂීම් මැලේසියාවේදී තමන් මුණ ගැසුණු බවත්, එමෙන්ම ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකට යෑමට සහරාන් හට තමන් සහය ලබාදුන් බවත් වත්මන් රජය බලයට පත්වීමෙන් පසු ඉන්දියාවේ පුහුණුවක් සඳහා ගොස් සිටි තමන් එය අතරමග නවතා දමා මෙරටට පැමිණ ජාතික බුද්ධි ප්‍රධානියා යන තනතුර භාර ගත් බවත්, එමෙන්ම පාස්කු ප්‍රහාරය විමර්ෂණය කළ ජනාධිපති කොමිසම විසින් තමන්ගෙන් සාක්ෂි ලබා නොගත් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර විසින් අසත්‍ය කරුණු මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර ඇති බවටය.

මෙම සියලු කරුණු අසත්‍ය බවත් තමන් කිසිදිනක සහරාන් හෂීම් හමුවී නොමැති බවත් ඔහුට ආධාර අනුබල නොදුන් බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදෙමින් රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානි මේජර් ජනරාල් සුරේෂ් සලේ ඊයේ (19)  දිනයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ ප්‍රකාශයක් ලබාදී ඇත.

එමෙන්ම තමන් ගෙන් පාස්කු ප්‍රහාරය පිලිබඳ කරුණු සොයා බැලු ජනාධිපති කොමිෂන් සභාව හමුවේ අවස්ථා 03 කදී සාක්ෂි ලබාදුන් බවත් ඉන්දියාවේ පැවති පාඨමාලාවක් අතර මග නතර කොට පැමිණි බවට වන ප්‍රකාශය ද අසත්‍ය බව රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානි මේජර් සුරේෂ් සලේ එහිදී ප්‍රකාශ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා විසින් සිදුකළ පැමිණිල්ල සහ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ෂණය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් පත් කර ඇත.

-ශානි-

Social Sharing
නවතම