අයි. සී. සී. පී. ආර් ලංකාවේ භාවිතයක් නෙවෙයි වෙන්නේ අවභාවිතයක්!

සිනමාවේදී නීතීඥ විසාකේස චන්ද්‍රසේකරම්

අෆ්නාෆ් ජසීෆ් කියන තරුණයා අත්අඩංගුවට අරගෙන් මේ වෙනකොට මාස 8කට අධික කාලයක් ගත වෙලා තියෙනවා. ඔහුව අත්තඩංගුවට පත් වෙන්නේ කවි ලිවීමේ වරදට. අපි නිර්මාණකරුවෝ හැටියට හැමදාම කරන්නේ අපේ අදහස් ප්‍රකාශ කිරීම. එයට බාධක දැම්මොත් සීමා දැම්මොත් අස්සධාරණ විදිහට අපිව යටපත් කරොත් අපිට නිර්මාණ කරන්න හම්බෙන්නෙ නෑ. මම හැමදාම කියන උදාහරණයක් තමයි සීගිරි බිතු සිතුවම් ඇඳපු චිත්‍රකරුවාට අප්සරාවන් අඳින්න පුළුවන් වුණෙත් මෑත කාලීනව අපේ සිනමාකරුවන්ට සිනමා සම්මාන ලබන්න පුලුවන් වුණෙත් උදාහරණයක් විදිහට ලෙස්ටර් ජේම්ස් පීරිස් වගේ සිනමාකරුවෙකුට ඉන්දියාවේ රජිත මයුර සම්මානය ලබන්න පුළුවන් වුණෙත් මේ නිදහස් අදහස් ප්‍රකාශ කරන්න අපිට තිබ්බ අයිතිය අපි භාවිතා කරපු නිසා. දැන් මේ අයිතියට අකුල් හෙලන්න පාවිච්චි කරන්නේ ලංකාවේ තියෙන මර්ධනීය නීති.

ICCPR

අෆ්නාෆ් කවියාව අත්අඩංගුවට ගනු ලබන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ, ඒ වගේම ඔහුට විරුද්ධව චෝදනා ඉදිරිපත් වෙනව කියලා කියන්නේ ICCPR පනත යටතේ. අපි බලන්න ඕනේ මේ නීති ඇත්තටම පාර්ලිමේන්තුව මගින් පනවන ලද්දේ කුමන අරමුණක් සඳහාද කියලා. මේ නීති පනවන ලද්දේ ඉතාමත් බරපතල ත්‍රස්තවාදීන්ව අත්අඩංගුවට ගන්න පුළුවන් වීමටත්, ඒ වගේම බරපතල අන්ත්ගාමීන් එක් එක් ආගම් අතර හා වාර්ගිකයන් අතර ප්‍රචණ්ඩත්වය පැතිරීම වැළැක්වීමටත්. එහෙම නැතුව අහිංසක කවියෙකු, අහිංසක කතාකරුවෙකු තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට නිර්මාණශීලී ක්‍රමයක් උපයෝගී කරගැනීම වළක්වන්නට නෙවෙයි. ඒ නිසා එවැනි බරපතල අරමුණක් සඳහා පනවනු ලබන නීති අගතිගාමී ලෙස ඉතාමත් අසාධාරණ ලෙස ලංකාවේ නිර්මාණකරුවන්ව මර්ධනය කිරීමට යොදා ගැනීම මම හෙලා දකිනවා.

අපේ රටේ කවියෝ, කතාකරුවෝ, සිනමාකරුවෝ, ගායකයෝ මේ හැම කෙනෙක්ම සියළුම කලාකරුවෝ එකතු වෙලා මේ ආකාරයට මේ මර්ධනයේ නීති තමන්ගේ සහෝදර නිර්මාණකරුවන්ට එරෙහිව භාවිතා කීඊමට විරුද්ධව හඩක් නැගිය යුතුයි. මේක අද මුස්ලිම් කවියෙකුට වෙන්න පුළුවන් හෙට දෙමළ ගායකයෙකුට වෙන්න පුළුවන්. අනිද්දා සිංහල චිත්‍රපටකරුවෙකුට වෙන්න පුළුවන්. එහෙම වෙලත් තියෙනවා. ඉතින් අපි හැම තිස්සෙම වටහාගන්න ඔනේ නිර්මාණකරුවෝ හැටියට ඉතාමත් වගකීමෙන් යුතුව අපේ ප්‍රකාශනයේ අයිතිය භාවිත කිරීමට අවශ්‍යය කරන පරිසරය අපි විසින් සාදා ගත යුතුයි කියන එක. එයට බාධා කරන අකුල් හෙලන සියලුම ආකාරයේ මර්ධනීය නීති, මර්ධනීය රාජ්‍යය මැදිහත්වීම්වලට විරුද්ධව අපි හඬක් නැගිය යුතුයි.

පැමිණිලි

මේ පැමිණිලි එන්නේ බොහොම සුළු පිරිසකගෙන්. මේ වගේ නිර්මාණයක් කෙරෙනකල්, මේ වගේ නිදහස් අදහසක් ප්‍රකාශ කරනකල් බලන් ඉන්න ඊට විරුද්ධ පිරිසක් ඉන්නවා. ආයතන කිහිපයක් තියෙනවා. ඒගොල්ලො තමයි ඉදිරිපත් වෙන්නේ. ඒගොල්ලෝ ඉදිරිපත් වෙලා පළමුව කරන දෙයක් තමයි නිර්මාණය සන්ධර්භයෙන් පිටතට ගෙනල්ලා මේක අර්ථ නිරූපණය කරලා, මේක බොහොම හානිකර නිර්මාණයක් හැටියට හැදින්වීම. එතකොට දෙවනුවට වෙන්නේ ඒ පැමිණිල්ල කරාට පස්සේ පොලීසිය විසිනුත් අනිකුත් රාජ්‍ය නිලධාරීන් විසිනුත් මේක ඉතාම හානිකර නිර්මාණයක් විදිහට හැඳින්වීම. ඊටපස්සේ අධිකරණයටත් මේ මතයම ඇතුළත් කරන්න මේ පාර්ශවයන් උත්සාහ කරනවා. අපි දැකලා තියෙන එක කාරණයක් තමයි හුගක් වෙලාවට මෙසේ මෙම නිර්මාණ විවේචනය කරන, නිර්මාණවලට එරෙහිව පැමිණිලි කරන ගොඩක් අයට පළවෙනි කාරණය ඒවා කියවලා බලලා හරියට තේරුන්ගන්න බැහැ. දෙවෙනි කාරණය  ඒවා කියවලා බලලා වටහා ගැනීමට, සාහිත්‍ය රසවින්දනයක් ඇතිකරගැනීමට ශික්ෂණයක් ඔවුන්ට නෑ. තුන්වෙනි කාරණය ඔවුන්ගේ ඔලුගෙඩි ඉතාමත් අගතිගාමී මත වලින් පිරිලා තියෙනවා. ඔවුන් නිවැරදි, යහපත්, විශිෂ්ටයි කියලා විශ්වාස කරන යම් කිසි ප්‍රමිතියක් ඔවුන් විසින්ම හදාගෙන තියෙනවා. ඊට එරෙහිව නිදහස් අදහස් ප්‍රකාශ කරන හැම කෙනෙක්ටම විරුද්ධ වීමට ඔවුන්ට උවමනාව තියෙනවා. නමුත් මම හිතන්නේ නෑ මේක තමයි අපේ රටේ බහුතර ජනතාවගේ මතය කියලා. මේක අපේ රටේ ජනතාවගේ මතය නෙවෙයි, අපේ රටේ ජනතාවගේ මතය මීට වඩා වෙනස්. අපේ රටේ ජනතාව අතීතයේදී ගොඩක් මේ වගේ නිර්මාණ පිළි අරගෙන තියෙනවා.

ICCPR පනත බැලුවොත් ඒ කියන්නේ ජත්‍යන්තර සම්මුතියක් ලංකාවේ ක්‍රියාත්මක කිරීමට ලංකාවට හඳුන්වා දුන් පනතක් මේක. ඇත්තටම මේ සම්මුතියේ තියෙන්නේ මොනාද කියල ගොඩක් අය දන්නේ නෑ. පුළුවන්නම් ඒක කියවලා බැලුවොත් වැටහෙයි ඒ මුළු සම්මුතියේම තියෙන්නේ ඒ සම්මුතියට අත්සන් කරන සියලුම රාජ්‍යයන් විසින් එකඟ වුණ, අපි අපේ රටේ පුරවැසියන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම්වලට ගරුකරනවා කියන දේ. එතනදී ඔවුන් පිළිගන්නවා හැම රටකම පුරවැසියන්ගේ ප්‍රකාශනයේ, සමානාත්මතාවයේ, අත්තනෝමතිකව අත්තඩංගුවට ගැනීමෙන් වැළකී සිටීමේ නිදහස. ඒ වගේම අධිකරණමය කාර්‍යය පටිපාටියක් තුළදී ඉතාම සාධාරණ නඩු විභාගයක් ලබා ගැනීමේ අයිතිවාසිකම, වද හිංසාවෙන් තොරව ජීවත් වීමේ අයිතිවාසිකම, කැමති දෙයක් ප්‍රකාශ කිරීමට නිර්මාණකරුවෙකුට ඇති අයිතිවාසිකම මේ අයුරින් අයිතිවාසිකම් පිළිඅරන් තියෙනවා.

මර්දනීය නීතිය

නමුත් අවාසනාවට අපේ රටේ ICCPR පනත ගේන්නේ මේ සියලුම අයිතීන් ක්‍රියාත්මක කිරීමට නෙවෙයි මේවායින් තෝරාගත් පුංචි කොටසක් පමණක් ක්‍රියාත්මක කිරීමට. අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් දිහා බැලුවොත් මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ තියන ශිෂ්ට සම්පන්න ප්‍රතිපාදනවලට එරෙහිව යාමක් තමයි ICCPR පනත කියලා කියන්නේ. නමුත් අවාසනාවකට මේක ප්‍රශ්න කෙරෙන වෙලාවල් ඉතාම අඩුයි. දැන් ඔබගේ ප්‍රශ්නය මේක නිසා අත්තඩංගුවට පත්වෙන අය මුහුණ දෙන ප්‍රායෝගික ගැටලුව දිහා බැලුවහම අපිට පේන්නේ මෙන්න මෙහෙම දෙයක්. සාමන්‍යයෙන් අපි දකින එක ප්‍රවණතාවයක් තමයි කොයි ආකාරයට පොලිසිය කටයුතු කරත් ප්‍රගතිශීලී මතයක් දරන විනිශ්චයකාරවරු ඉන්න අවස්ථාවන් වලදී යහපත් තීන්දු ලැබිලා තියෙනවා කියන දේ. උදාහරණයක් තමයි ශක්තික කුමාරට විරුද්ධව ICCPR පනත යටතේ පවරපු නඩුව විසිකිරීම. දැන් එතකොට ඒ වුණත් ශක්තිකට බරපතල ගැටළු ගනනාවකට මුහුණපාන්න සිද්ධ වෙනවා. ඉතාමත් අසාධාරණකම් ගනණාවකට මුහුණපාන්න සිද්ධ වෙනවා. ඔහුට සිදු වූ දේ නිසා පවුලේ අයට බොහෝ අපහසුතාවයකට පත්වෙන්න සිද්ධ වෙනවා. ඒ දරුවෝ ගොඩාක් දුක් වෙනවා. ඒ විතරක් නෙවෙයි ඔහුගේ සහෝදර කලාකරුවෝ බය වෙනවා. මම කියන්නේ මේ සිද්ධ වෙන හානියට කවුද වන්දි ගෙවන්නේ. මාස ගණන් රිමාන්ඩ් ගතවීම විතරක්ම නෙවෙයි මෙතන තිබෙන ප්‍රශ්නය. ඒ කියන්නේ අපේ රටේ රිමාන්ඩ් ගත කිරීම කියන්නේ වැරද්දක් සම්බන්ධව තියෙන පරීක්ෂණ අවසන් වන තුරු පරීක්ෂණය සාක්ශාත් කරගැනීමට තියෙන ක්‍රමවේදයක්. ඒක තියෙන්නේ දඩුවම් කරන්න නෙවෙයි. නමුත් ICCPR පනත ඇතුළු මර්ධනකාරී නීති මගින් කෙරෙන්නේ මේ පරීක්ෂණය කරන්න ලබාදී ඇති රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමේ ප්‍රතිපාදන නිර්මාණකරුවන් ඇතුළු ප්‍රගතිශීලී මත දරන්නන්ගේ අදහස් ප්‍රකාශ කිරීම වළක්වාලීමට සහ දඩුවම් කිරීමට යොදාගැනීම කියන එක. ඒකයි මේක ලංකාව අස්සේ මර්ධනීය නීතියක් වෙන්නේ.

Social Sharing
නවතම සාකච්ඡා