අද මේ විඳින්නේ හිටපු දක්ෂ සෞඛ්‍ය වෛද්‍ය පරිපාලකවරු ඉවත් කිරීමේ සාපයයි! – වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන

කොවිඩ් 19 මර්දන ක්‍රියාවලියේ ආරම්භයේ සිට හොඳින්ම ක්‍රියාකළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ, අමල් හර්ෂ ද සිල්වා සහ ජයරුවන් බණ්ඩාර යන වෛද්‍ය පරිපාලකවරු, ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ පිළිගැනීමක් තිබුණු වසංගත රෝග විශේෂඥ පබා පළිහවඩන, ඖෂධ නියාමන අධිකාරියේ පාලිත අබේකෝන් වැනි අයට නිසි ඇගයීමක් නොදී සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉවත් කිරීමේ විපාක / සාපය අද මේ අත්විඳීමට සිදුව තිබෙන්නේ යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි.

ඔවුන්ව පැත්තකට කළේ කුමන හේතුවකටද යන්න අදටත් අදහාගත නොහැකි බවත් දැන් හෝ ඊට හේතු දැක්විය යුතු බවද ඔහු රජයෙන් ඉල්ලා සිටියි.

මෙරට දැන් ක්‍රියාත්මක වන්නේ උඩුයටිකුරු වූ කොවිඩ් පාලනයක් බවත් ඔහු පවසයි.

ඉකුත් වසරේ කොවිඩ් රැල්ල පැමිණි පළමු මාසය වූ මාර්තු මාසයේදී රෝගීන් වැඩි වශයෙන් හමු නොවීම මත රට ලොක් ඩවුන් කිරීමක් අවශ්‍ය නැති බවත් මෙයින් රටේ ආර්ථිකයට හානි වන බව පෙන්වා දුන්නද එය නොසලකා රට ලොක්ඩවුන් කිරීමෙන් මිලියන 900 ක පාඩුවක් සිදු වූ බවද ඔහු සිහිපත් කර සිටියි.

එකල සිටි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ ප්‍රමුඛත්වයෙන් සෞඛ්‍ය පද්ධතිය මනාව ඒ  කොවිඩ් රැල්ල පාලනය කළ බවත් සුනාමියෙන් පසු මනාව පාලනය කළ හොඳම අවස්ථාව ඒ කොවිඩ් වසංගතයේ පළමු රැල්ල බවත් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි.

වර්තමාන තත්ත්වය හමුවේ කොවිඩ් වසංගතය පාලනය කිරීමට ඇති හොඳම විසඳුම රට ලොක්ඩවුන් කිරීම බවත් මේ කොවිඩ් වසංගත මර්දන සටනට සෞඛ්‍ය අමාත්‍යාංශයට පෙරමුණ ගැනීමට ඉඩ නොදීම සිදු වු බලවත් වරදක් බවද හෙතෙම කියයි. මේ නිසා වෙනදාට ක්‍රියාත්මක වු සෞඛ්‍ය යාන්ත්‍රණය අඩපණ වී ඇති බව පෙන්වා දෙන ඒ  තුලින් අද සියලුම සෞඛ්‍ය අංශ කළකිරීමට පත්ව ඇතැයිද ඔහු පවසයි.

එමෙන්ම මෙවැනි කාරණා සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පුහුණු කළ විශේෂඥයින් වන විශේෂඥ වෛද්‍යවරුන් වන ලක්කුමාර් ප්‍රනාන්දු, ආනන්ද විජේවික්‍රම යන අය පෙරමුණ ගත් තාක්ෂණික කමිටු තිබිය යුතු වුවත් එවැනි තත්ත්වයක්ද නොමැති බව වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා කියා සිටියි.

පසුගිය අගෝස්තු සැප්තැම්බර් වන විට අනිල් ජාසිංහ මහතා ඉවත් කිරීමෙන් පසු සැප්තැම්බරයේ සිට ඇරඹුණු බ්‍රැන්ඩික්ස් පොකුරේ සිට මේ දක්වා වර්ධනය වෙමින් මේ මොහොත වන විට යම්කිසි උච්ච අවස්ථාවකට පත්ව මුලු රටම විපරිත වී ඇතැයිද පවසන ඒ මහතා පෙන්වා දෙන්නේ මේ අවස්ථාවේ දේශපාලන බින්න භේද නොසලකා එක් වී ක්‍රියා කළ යුතු බවය. විශේෂයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වැනි අත්දැකීම් ඇති අයව යළි ගෙන්වා කමිටු ඇති කර ඔවුන්ගේද සහාය ලබා ගත යුතු බවය.

ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ  (12) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

-ශානි-

Social Sharing
නවතම