උසාවි තදබදයට ඩිජිටල් විසඳුම්

දිවයින පුරා දිසා අධිකරණයන් හී ගොඩ ගැසී  ඇති නඩු පිළිබඳව තොරතුරු ලබා ගැනීම සඳහා ඩිජිටල් ජාල ගත තොරතුරු පද්ධතියක් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ස්ථාපිත කර ඇතැයි අධිකරණ අමාත්‍යවරයා පවසයි.

අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි ඒ බව පවසා ඇත්තේ ලබන වසර සඳහා වන අයවැය පිළිබඳ කාරක සභා විවාදයේ 9 වැනි දිනය වන දෙසැම්බර් 2 බදාදා පාර්ලිමේන්තුවේදී  අසන ලද වාචික පැනයකට පිළිතුරු දෙමිනි.

දිවයින පුරා දිසා අධිකරණ වල 231,506 ක නඩු ප්‍රමාණයක් විසඳීමට ඇති අතර  මේ අතුරින් වසර 20කට වඩා පැරණි නඩුද 4620ක් පමණ ඇතැයි අධිකරණ අමාත්‍යවරයා සදහන් කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

දිසා අධිකරණයන්හී මෙලෙස  ගොඩ ගැසී තිබෙන නඩු පිළිබඳව අධිකරණ කොමිෂන් සභාව විසින් තොරතුරු රැස් කරන අතර ඩිජිටල් දත්ත පද්ධතියක් ස්ථාපිත කිරීමෙන් තොරව එක් එක් නඩු පිළිබඳව තොරතුරු ලබා දිය නොහැකි බව ද අමාත්‍යවරයා එහිදී පැහැදිලි කර තිබේ.

ලක්ෂ හතක් ඉක්මවූ නඩු

පසුගිය වසර අවසන් වන විට ශ්‍රී ලංකාවේ සියලුම අධිකරණ වල අවසන් නොවු නඩු ප්‍රමාණය හත්ලක්ෂ හැටදහස ඉක්මවා තිබු බව පසුගියදා  අනාවරණය වී තිබුනි.

රජය පවසන්නේ 2019 වර්ෂ අවසානය වන විට සියලුම අධිකරණ වල අවසන් නොවු නඩු 766,784 ක් පැවැති බවයි.

එම තත්වය යටතේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සදහා විශේෂ ඒකකයක් අධිකරණ අමාත්‍යාශය යටතේ ස්ථාපිත කිරීමට 2020 සැප්තැම්බර් මාසයේදී  අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද  හිමිව තිබුනි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබුනේ  සැප්තැම්බර් 28 සදුදා පැවැති කැබිනට් මණ්ඩලයේදී එම අනුමැතිය හිමිව ඇති බවයි.

එදින  අමාත්‍ය මණ්ඩල තීරණ වල දැක්වා තිබුනේ 2016 වර්ෂයේදී ජාතික නීති සම්මේලන කමිටුව විසින් නඩු ප්‍රමාදයන්ට හේතු වන විවිධ ගැටලු, ඒ හේතුවෙන් සිදුවන අයහපත් ප්‍රතිළුල සහ ඒ සදහා යෝජිත විසදුම් පිළිබද වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවයි.

නඩු ප්‍රමාදයන්ට හේතු වන ගැටලු විසදීම සදහා යටිතල පහසුකම් සංවර්ධනය, නීති ප්‍රතිසංස්කරණය, අධිකරණ ස්වයංක්‍රියකරණය හා ධාරිතා සංවර්ධනය යන සංරචක ඔස්සේ අවශ්‍ය පියවර ගත යුතු බව රජයේ ස්ථාවරය වී තිබෙන බව ප්‍රවෘත්ති අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගෙන නීති ක්ෂේත්‍රයේ විශේෂඥයන්ගේ දායකත්වය ලබා ගනිමින් වසර 3 ක කාලයක් තුළ අධිකරණ ප්‍රතිසංස්කරණ වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම සදහා අධිකරණ අමාත්‍යාශය යටතේ විශේෂ ඒකකයක් ස්ථාපිත කිරීම සදහා සැප්තැම්බර් මාසයේ දී  අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දුන් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මීට ඉහතදී  නිවේදනය කර තිබුණි.

Social Sharing
නවතම