බිම්ෂානි නිසා අවදි වූ කාන්තා අයිතීන් පෙරට එයි!

මේ දිනවල වැඩියෙන්ම කථා වෙන කාන්තා චරිතය වන්නේ මෙරට ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනිය වන බිම්ෂානි ජාසිංහආරච්චිය. කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරේ ජේෂ්ඨතාවයෙන් ඉහලින් සිටි බිම්ෂානි ජාසිංහආරච්චි නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කෙරුනේ 2020 ඔක්තෝම්බර් මස 18 දා ය. ඒ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය හිමිවීමෙනි.

මීට පෙර ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ කාන්තාවක් ලෙස ඉහළම තනතුරක් දැරුවේ කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි  ප්‍රමිලා දිවාකර මහත්මීය වේ.

කාන්තා පොලිස් සේවය ආරම්භ කර තිබෙන්නේ 1953 දීය. එහිදී කාන්තා පොලිස් සේවය සඳහා මුලින්ම බඳවා ගන්නා ලද්දේ නිලධාරිනියන් සිව් දෙනෙකි. හැටේ දශකය පමණ වන වි‌ය. එම තත්ත්වය ක්‍රමයෙන් වර්ධන වී ඇත. කෙසේ නමුදු පොලිස් සේවය තුල කාන්තාවකට ඉහළට යාමේ අවකාශයක් සෘජුව තිබී නැත. මේ නිසා පොලිස්පතිධුරයට පත් වු පොලිස්පතිවරුන් කිහිප දෙනෙක්ම කාන්තා සහ පුරුෂ පොලිස් සේවාවන් ඒකාබද්ධ කළද එය සාර්ථක වී නැත්තේ පොලිසිය තුලින්ම පැවති විවිධ විරෝධතා නිසාය.

කෙසේ නමුදු අභියෝග මැද ප්‍රමිලා දිවාකර මහත්මිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධුරයට පත් විය. ඒ එතෙක් කාන්තාවක් පොලිසිය තුල ලබපු ඉහළම නිලය වේ.

මෑත කාලයේ උප පොලිස් පරික්ෂකවරියන් ලෙස සිටි කාන්තාවන් පිරිසක් සහකාර පොලිස් අධිකාරිධුරයට පත් වුයේත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධූරයට පත් වුයේත් අධිකරණයේ පිහිට පැතීමෙන් අනතුරුවය.

දැන් පොලිස් දෙපාර්තමේන්තුවේ හටගෙන ඇති අලුත්ම ගැටුම වන්නේ කාන්තාවක් නියෝජ්‍ය පොලිස්පතිධුරයට පත් වීමය.‍

නියෝජ්‍ය පොලිස්පතිවරිය පොලිස් සුබසාධක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරිය ලෙස පත් කර ඇති අතර ඔක්තෝම්බර් 08 දින සිට ක්‍රියාත්මක වන පරිදි එම පත් කිරීම සිදු කර ඇති නමුත් ඇයය  ඔක්තෝම්බර් 13 දින සිය ධූරයේ රාජකාරි ආරම්භ කිරීම සිදුකරනු ලැබුණි.

කවුද මේ?

ආර්ථික විද්‍යාව, සිංහල සහ සංඛ්‍යානය පිළිබඳ රුහුණු විශ්වවිද්‍යාලයේ ශ්‍රාස්ත්‍රවේදී උපාධිධාරිනියක් වන බිම්ෂානි ජාසිංහආරච්චි මහත්මිය  කොළඹ විශ්වවිද්‍යාලයේ මානව හිමිකම් පිළිබඳ ශ්‍රාස්ත්‍රපති උපාධිය ද හිමි තැනැත්තියකි.

1997 වසරේ දී උප පොලිස් පරීක්ෂකවරියක් ලෙස ශ්‍රී ලංකා පොලිස් සේවයට එක් වී ඇති බිම්ෂානි ජාසිංහආරච්චි 2012 වසරේ දී සහකාර පොලිස් අධිකාරිවරියක් ලෙස උසස් වීම් ලබා ඇත.

කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරියන් අතරින් ජ්‍යෙෂ්ඨත්ව අනුව ඉහළින්ම සිටින කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරිය වන බිම්ෂානි ජාසිංහආරච්චි මහත්මිය නියෝජ්‍ය පොලිස්පතිවරිය ලෙස පත් කිරීමට ජාතික පොලිස් කොමිසන් සභාව තීරණය කර තිබුනේ මේ අතරය .

නමුත් එක් වරම නියෝජ්‍ය පොලිස්පතිවරියක් පත් කිරීමට එරෙහිව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 14 දෙනෙකු විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර කළේ මෙවන් පසුබිමකය .

එම පැමිණිල්ල මගින්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකා පොලිස් සේවයේ අනුමත සේවක සංඛ්‍යාව තුළ කාන්තාවන් සඳහා නොමැති තනතුරකට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරේ කටයුතු කළ නිලධාරිනියක පත් කිරීම දෝෂ සහගත බවය.

මේ අතර ඔවුන් ඒ සම්බන්ධව ශ්‍රෙෂ්ඨාධිකරණයේද මුලික අයිතිවාමිකම් පෙත්සමක් ගොනු කර සිටියහ. මේ පෙත්සම සම්බන්ධව දැන් මුලු රටම කථා කරන්නට පටන් ගෙන ඇත. ඒ කාන්තාවක් ඉහළයට යනවාට විරුද්ධ වූ පිරිමින් පිරිසකගේ පහත් ක්‍රියාවක් ලෙසිනි.

මේ වන විට මුලු රටේම අවධානය දිනා ගැනීමට නියෝජ්‍ය පොලිස්පතිනිය වූ බිම්ෂානි ජාසිංහආරච්චි මහත්මිය සමත් වී ඇත.

අගමැතිනිය, ජනාධිපතිවරිය, ගුවන් යානා පැදවීමේ නියමුවරියන් පත් වී ඇති ලංකා ඉතිහාසයේ කාන්තාවන්ට ඉහළටම යා යුතු බව ඔප්පු කර ඇත. එවන් අභිමානවත් කාන්තා ඉතිහාසයක් ලංකාව සතුව ඇත.

මේ අතර ඇයට සහාය පළ කිරීමට උතුරේ සිවිල් සංවිධානද එක් වී ඇත. සමාජ මාධ්‍ය වලින්ද ඇය වෙනුවෙන් හඬ නඟන පිරිසක් බිහිව ඇත. මෙවන් පසුබිමක් තුල ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසඳයද ඇය වෙනුවෙන් පෙනී සිටීමට තීරණය කර ඇත.

එමෙන්ම මෙරට කාන්තාවන්ට එරෙහිව සිදුවන අසාධාරණයන් සහ අකටයුතුකම් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තු කාරක සභාවක් ස්ථාපිත කරන ලෙස කථානායකතුමාගෙන් ඉල්ලීමක් කිරීමට පාර්ලිමේන්තුවේ කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදය තීරණය කර ඇත.  එහි සභාපතිනී ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසන්නේ කථානායකවරයාගේ අනුමැතිය සහිතව ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව එළඹෙන මාර්තු 09 වැනිදා මෙම කාරක සභාව පිහිටුවීම ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වන බවය.

විශේෂයෙන් කාන්තාවන්ට සිදුවන විවිධ හිංසනයන්, ප්‍රචණ්ඩත්වයන්, වෙනස්කොට සැලකීම් සහ කිසියම් තනතුරක තම දක්ෂතාවය කුසලතාවය සහ හැකියාව අනුව ඉහළට යාමේදී කාන්තාවක් වීම නිසාම සිදුවන අකටයුතුකම් විමර්ෂණය කිරීමේ හැකියාව ඇති පූර්ණ බලතල සහිත පාර්ලිමේන්තු කාරක සභාවක අවශ්‍යතාවය සභාපතිවරිය මෙහිදී පෙන්වා දි ඇත.

කාන්තාවන්ට නිසිතැන, සමතැන, මවට මුල්තැන ආදී වචන නිතර භාවිත වුවද සමාජය තුළ විවිධ ක්ෂේත්‍ර සලකා බැලීමේදී කාන්තාවක් වීම නිසාම වෙනස්කොට සැලකීම දක්නට ලැබෙන බවත් කාන්තාවගේ දක්ෂතාවය, හැකියාව සහ සුදුසුකම් මත ඉදිරියට යෑමේ අවහිරතා මගහැරවීමට මෙම කාරක සභාව මගින් හැකි වනු ඇති බවත් මන්ත්‍රීවරියෝ පෙන්වා දුන්හ.

මෙම කමිටුවේ විශේෂත්වය වන්නේ එය කාන්තා සහ පිරිමි මන්ත්‍රීවරයන්ගෙන් සමන්විත වීමය.

මේ අතර කාන්තා නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස පත් වූ බිම්ෂානි ජාසිංහආරච්චි මහත්මියගේ උසස් වීම සම්බන්ධයෙන් ඊයේ (18) කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසා සිටියේ ප්‍රථම කාන්තා නියෝජ්‍ය පොලිස්පතිනියට එරෙහිව අධිකරණට පෙත්සමක් ඉදිරිපත් කිරීම සම්බන්ධව කණගාටු වන බවත් එවැනි පත්වීමක් අප රටට මහත් ආඩම්බරයක් ගෙන දෙන බවයි. එහිදී අමාත්‍යයවරයා පවසා සිටියේ ඉදිරිපත්වී ඇති පෙත්සම පරාජය වනු ඇති බව තමන් විශ්වාස කරන බවය.

මෙම අවස්ථාවට අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සීතා අරඹේපොල, රෝහිණි විජේරත්න, ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් පිරිසක් සහ සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී කුෂාණි රෝහණදීර මහත්මිය ද සහභාගි වී තිබුණි.

-ශානි-

Social Sharing
නවතම