වාරියපොල රැඳවියා පලා ගියාද? වැරදිමකින් නිදහස් කළාද?

වාරියපොල, ගිනිපෙන්දේගම පදිංචි පුද්ගලයෙකු මෙලෙස වැරදීමකින් එළියට දමා ඇත. කූඨ ලේඛණ සකස් කිරීමේ චෝදනාවකට වරදකරු වී සිර දඬුවම් නියම වුවෙක් වු මොහු ඉකුත් 25 දා පොදු සමාව යටතේ රැඳවුවන් පිරිසක් නිදහස් කිරීමේදී මොහුත් නිදහස් කර ඇත්තේ වැරදීමකින් බව වාරියපොල පොලිසිය අධිකරණයට දන්වා සිටි බව එම ප්‍රවෘත්තියේ සඳහන් විය.

වාරියපොල පොලිසිය විසින් මෙම රැඳවියාව නැවත අත්තඅඩංගුවට ගෙන පහුගිය 03 දා වාරියපොල දිසා විනිසුරු වෙත ඉදිරිපත් කර තිබු අතර එහිදී මොහුව දින 14 ක් කුලියාපිටිය නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය කර වැලිකඩ මැගසින් බන්ධනාගාරය වෙත බාර දෙන ලෙස නියෝග කළ බව එම ප්‍රවෘත්තියේ වැඩිදරටත් සඳහන් විය.

මේ අතර මෙම ප්‍රවෘත්තියම ඊයේ (06) දින නෙත් එෆ් එම් නාලිකාව වාර්තා කර තිබුණේ තවත් විදිහකටය.

දේශපාලඥයෙකුගේ ඥාතියෙකු වන මෙම රැඳවියා ඉකුත් ආණ්ඩුව සමයේදී වැලිකඩ බන්ධනාගාරය තුල රඳවා  ඇති අතර පසුව මෙම වාරියපොල බන්ධනාගාරයට මාරු කර තිබුණු බවය. එහිදී ඔහු බන්ධනාගාරයෙන් පලා ගොස් තිබූ අතර පසුව අත්අඩංගුවට ගෙන යළි බන්ධනාගාර ගත කර තිබෙන බව එම පුවතේ සඳහන් විය.

සිර දඬුවම් නියම වීමට පෙර කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටි සමයේ ඔහුට වරෙක ඇප නියම වී තිබු බවත් එහිදී ඔහු මිය ගිය බවට ව්‍යාජ ලේඛන සකස් කර බොරැල්ල  කනත්තේ ස්මාරකයක් ද ඉදිකර තිබුණේ අධිකරණය නොමග යැවීමේ අරමුණින් බවද පසුව ඔහුට සිර දඬුවම් නියම වීමෙන් අනතුරුව වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි අවස්ථාවේ ඉකුත් දෙසැම්බර් 25 වනදා යළි පලා ගොස් තිබුණු බවත් එම පුවතේ සඳහන් විය.

පසුගිය 03 වනදා මෙම සිරකරු අත්අඩංගුවට පත් වු අවස්ථාවේ  ඔහු පාපොච්චාරණය කරමින් පවසා ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයේ ජේලර්වරයෙකු තමාට පලා යාමට උපකාර කල බව බවත් ඒ සඳහා එම නිලධාරියාට රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබා දුන් බවද මෙම සිරකරු පවසා ඇති අතර ඒ අනුව  මෙම සිරකරුට වැලිකඩ බන්ධනාගාරයෙන් පලා යාමට උපකාර කළ බව කියන වැලිකඩ බන්ධනාගාරයේ ජේලර්වරයෙකු සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බවද එහි වැඩිදුරටත් සඳහන් විය.

ඒ සඳහා සහකාර බන්ධනාගාර අධිකාරීවරයෙකුගේ ප‍්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීමට පියවර ගෙන ඇතැයිද එහි සඳහන් විය.

මේ පුවත් දෙකෙන්ම එකම පුද්ගලයා ගැන කියවෙන අතර මව්බිම පුවතින් පෙන්වා දී ඇත්තේ බන්ධනාගාරයට වැරදීමකින් මොහුව නිදහස් කර ඇති බවය.

නමුත් නෙත් නාලිකාව සඳහන් කර ඇත්තේ මොහු 25 දා පලා ගොස් ඇති බවය. මෙවැනි පුවත් කියවන, අසන පාඨකයින් පත්වන්නේද දැඩි අපහසුතාවයටය. ඒ කොයි පුවතද නිවැරදි යන්න තෝරා බේරා ගැනීමට නොහැකිවය.

පළමු පුවතෙන් මොහු වැරැද්දක් කර නොමැති අතර දෙවැනි පුවතෙන් කියවෙන්නේ මොහු පලා ගොස් ඇති බවකි.

එහෙයින් පුවත් වාර්තාකරණයේදී මාධ්‍යවේදීන් මෙයට වඩා ප්‍රවේශමෙන් සිදු කළ යුතුව ඇත.

Social Sharing
නවතම