කාලී තරහ වෙලා – පැණිය ෆේල් වෙලා!

කෑගල්ලේ ධම්මික බණ්ඩාර ගැන මුලු රටම දැන ගත්තේ පහුගිය කොරෝනා වසංගතයත් සමඟිනි. රට පුරා කොරෝනා පැතිර යද්දී කෑගල්ලේ ධම්මික බණ්ඩාර පැණියක් පෙන්වා කීවේ තමන් කොරෝනාවට බෙහෙතක් සොයා ගත් බවකි. මේ සඳහා විශාල ප්‍රසිද්ධියකුත් මාධ්‍ය මඟින් හිමි වීමත් සමඟ ධම්මික පොරක් බවට පත් වුයේ නිතැතිනි.

ඔහු මේ පැණිය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට පවා පෙවීමට සමත් වු අතර ඉන් නොනැවතී ඔහු මේ පැණිය පාර්ලිමේන්තුවට රැගෙන ගොස් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද පෙවීමට තරම් දක්ෂ විය.

ඔහුගේ පැණිය ලබා ගැනීමට රට පුරා ජනතාව කෑගල්ලට එද්දී ඒ පිරිස පාලනය කිරීමට පොලිසීයට හැකි වුයේද නැත. ඒතරම් ඔහුගේ පැණියට ඉල්ලුමක් පැවතුණි.

ඒ ඉල්ලුම නමට හැදුනා මිස මෙයින් කොරෝනා හැඳීම වැලැක්වෙනවාදැයි කිසිවෙකුත් හරියට දැන සිටියේ නැත. ධම්මික බණ්ඩාර කාලි මෑණියන්ගේ දේවාලයක් පවත්වාගෙන යන අයෙකු වු බැවින් ඔහුගේ ආරුඩ නම වුයේ කාලීය.

ඔහු සිය පැණිය රැගෙන ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට පුජා කිරීමට ගිය අවස්ථාවේ ඔහුට උඩ මලුවට යාමට ඉඩ නොදුන්නැයි කියා අවේගශිලීව අටමස්ථානාධිපති ඉදිරියේ ආරූඩ වූ හැටිද අපට අමතක නැත.

මේ අතර මොහුගේ පැණිය සම්බන්ධයෙන්  දේශීය වෙදකම් ප්‍රවර්ධන ග්‍රාමීය හා අයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සායනික පරික්ෂාවක් කිරීමට විද්වත් කමිටුවක් පත් කරන ලදි.

ඊට අමතරව මේ පැණිය ආයුර්වේදයේ ආහාර අතිරේකයක් ලෙස ගැනීමට ද නම් කරන ලදි. එසේම දේශීය වෛද්‍ය අමාත්‍යාංශයෙන් මොහුට මේ පැණිය නිෂ්පාදනය කිරීමට අවැසි උපකරණද පරිත්‍යාග කරන ලදි.

මේ සියලු කටයුතු වලින් ධම්මිකගේ පැණිය තව තවත් ප්‍රවර්ධනය වූ අතර ඔහුගේ බලයද වැඩි විය. ඔහු පැණි බෙදීම මහා පරිමාණයෙන් කෑගල්ල ප්‍රදේශයේ සිදු කරද්දී ප්‍රදේශවාසීන් හා ගැටුම්ද ඇති කර ගත් අවස්ථා තිබුණි. එසේම මහනුවර දන්ත වෛද්‍යවරයෙකුට පහර දීමක්ද සිදු කෙරුණේ එවැනි අවස්ථාවකය.

මේ අතර මොහුගෙන් පැණිය බිවූ සෞඛ්‍ය අමාත්‍යවරිය ඇතුලු බොහෝ දෙනෙකුට කොරෝනා රෝගය වැළඳුන අතර එහිදී ඔහු පැවසුයේ ඔහු දුන් උපදෙස් හරියට ඉටු නොකළ නිසා කොරෝනා වැළඳි ඇති බවය.

කෙසේ නමුදු තෙවැනි කොරෝනා රැල්ල පැමිණියද මෙවර ධම්මික පිලිබඳ කිසිදු හඬක් වූයේ නැත. ඔහු ගියවර නම් දිනපතාම පාහේ පුවත් මවන්නෙක් බවට පත් වී තිබුණි. නමුත් මෙවර ඔහු පැණිය ගැන කියා කරළියට පැමිණියේ නැත.

එවන් පසුබිමක රජයම ධම්මික ගැන කථා කළේය. ඒ ඔහු නිෂ්පාදනය කළ ධම්මික පැණිය සායනික පරීක්ෂණවලින් අසමත් වී තිබෙන බවටය.

එම පැණිය කොරෝනා රෝගීන්ට කිසිඳු අයුරකින් ප්‍රතිකාරයක් නොවන බව සායනික පරීක්ෂණ සිදුකළ විශේෂඥ කමිටුව තහවුරු කර ගෙන ඇති බවද  දේශීය වෙදකම් ප්‍රවර්ධන ග්‍රාමීය හා අයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් කුමාරි වීරසේකර මහත්මිය පවසයි.

එසේම මෙම පැණිය මින් ඉදිරියට නිෂ්පාදනය නොකරන ලෙස දන්වමින් ධම්මික බණ්ඩාරට ලිඛිතව දන්වා යවන බවද පවසන ඇය වැඩිදුරටත් කියා සිටින්නේ ආහාර අතිරේකයක් ලෙස ගැනීමට අවසර ලබා දුන් කාලයද අවසන් බවය.

ඒ අනුව ධම්මික බණ්ඩාරගේ පැණිය දැන් වලංගු වන්නේ නැත.

-ශානි-

Social Sharing
නවතම