පහර දුන්නේ මම නොවේ කාලී!

ධම්මික පැණිය කියු සැණින් රටේ සියලු දෙනාගේ මතකයට එන්නේ කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතාවය. ඒ තරමට ඔහු මෙරට විවිධ පුවත් මවන්නෙක් බවට දැන් පත්ව ඇත.

කාලි ලෙස පෙනී සිටිමින් කාලි මෑණියන්ගේ පිහිටෙන් නිපදවන ඔහුගේ කොරෝනා පැණියට දැන් රාජ්‍ය අනුග්‍රහයද ලැබී ඇත. බෙහෙත් ඖෂධ අඹරා ගැනීම සඳහා යන්ත්‍රෝපකරණද ලැබී ඇත. මේ පැණිය සායනික මට්ටමේ පැවතියත් මේ වන විට ඒය අතිරේක ආහාරයක් ලෙස රජය පිළිගෙන ඇත.

පළමුව නොමිලේ ලබා දුන් මෙම පැණිය මේ වන විට කාලක් රුපියල් 2500 ක මුදලට අලෙවි වේ. මොහුගෙන් පැණි බිවු රැසකට මේ වන විට කොරෝනා ආසාදනය වීද ඇත. නමුත් ධම්මික මහතා පවසන්නේ මෙය කුමන්ත්‍රණයක් බවය.

මේ අතර යලිඳු වරක් ධම්මික බණ්ඩාර මහතා ගැන රටේ කථා බහක් මතුව ඇත. ඒ ඔහුට විරුද්ධව වරකාපොල පොලිසිය  විසින් විමර්ශනයක් ආරම්භ කිරිම නිසාය.

මොහුට විරුද්ධව පැමිණිල්ලක් ලැබී ඇත්තේ දන්ත වෛද්‍යවරයෙකු වන පේරාදෙණිය ප්‍රදේශයේ පදිංචි  එස්.ඒ.ආර් මද්දුමබණ්ඩාර මහතාය. මෙම වෛද්‍යවරයා ඇතුලු පිරිසක් පහුගිය 12 දින ධම්මික බණ්ඩාර මහතා හමු වී මේ පැණිය ගැන තොරතුරු විමසා ඇත. ඒ අතරතුර මෙම පිරිස අවට වීඩියෝ ගත කර ඇතැයි පැවසේ. එහිදී කෝප වී ඇත් ධම්මික බණ්ඩාර මහතා ඊට විරුද්ධත්වය පා ඇති අතර මෙහිදී දෙපාර්ශවයම බහින බස් වීමක් සිදුව ඇති බවද පැවසේ.

පසුව වෛද්‍යවරයා විසින් ධම්මික බණ්ඩාර නැමැත්තා තමන්ට පහර දුන් බවට පේරාදෙණිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

එම පැමිණිල්ල කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වෙත යොමු කර ඇති අතර ඒ අනුව ඔහුගේ අධික්ෂණය  යටතේ විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඒ වරකාපොල පොලිසිය විසිනි. පසුව ඔවුන් විසින් එය කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා යටතේ පවතින කෑගල්ල කොට්ඨාස දූෂණ මර්දන කාර්යාංශයට යොමුකර තිබූණි.

මේ සම්බන්ධව ඊයේ (23) දින දෙපාර්ශවයම කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයට කැඳවා තිබු අතර එහිදී  තම නිවසට පැමිණි පේරාදෙණිය රෝහලේ දන්ත වෛද්‍යවරයාට පහර දුන් බව කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා පිළිගෙන ඇත.

එලෙස පහර දුන්නේ තමා නොව කාලි ආරූඪ වීමෙන් බව සඳහන් කර ඇති ඔහු තමා විසින් වෛද්‍යවරයාට පහරදුන් බවත් බලහත්කාරයෙන් වෛද්‍යවරයා ස්වයං පාපොච්චාරණ සිදුකරන වීඩියෝවක් පටිගත කළ බව ධම්මික බණ්ඩාර පොලීසියේදී පිළිගෙන තිබේ.

මෙහිදී සිදුකළ වරදවල්වලට ධම්මික බණ්ඩාර මාධ්‍ය හමුවේ ප්‍රසිද්ධියේ සමාව ගන්නා බවට ප්‍රකාශ කිරීම නිසා පැමිණිල්ල සමථයකට පත් කිරීමට කටයුතු කළ බවයි පහර කෑමට ලක් වු දන්ත වෛද්‍ය මද්දුම බණ්ඩාර මහතා පවසයි.

මේ අතර ඊයේ දිනයේදී ධම්මික බණ්ඩාර මහතාට තවත් ප්‍රශ්නයක් මතු විය. ඒ ඔහුගේ පැණිය පානය කළ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිරආච්චි මහත්මියටත් කොවිඩ් ආසාදිත බව තහවුරු වීමය. මෙහිදී ඔහු මාධ්‍යට සඳහන් කර සිටියේ තමන්ගේ පැණිය බොන අතරතුර ඇමතිවරිය තමන් නොකළ යුතු යැයි පැවසු කොන්දේසි දෙකක් කඩා දැමීම නිසා ඇයට වෛරසය වැළඳිම පිලිබඳ කිසිදු වගකීමක් තමන් භාර නොගන්නා බවය.

Social Sharing
නවතම