දෙරණට වගකීමෙන් මිදිය හැකිද?

මට්ටක්කුලිය ප්‍රදේශයේදී ඊයේ (26) දින සවස දෙරණ මාධ්‍ය ජාලයේ  ස්ටිකර් ඇල වූ  වෑන් රථයක් රිය අනතුරකට ලක්ව තිබුණේ බීමතින් රිය පදවාය. මෙහිදී පොලිස් නිලධාරීන් විසින් එම සිදුවීම පටිගත කර තිබු අතර වෑන් රථයේ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු ගමන් කර තිබුණි. ඔවුන් වාහනය තුල මත්පැන් පානය කරමින් පැමිණ ඇති අතර එතුල මත්පැන් බෝතලයක්ද විය.

වාහනයේ ඉදිරිපස මීඩියා යනුවෙන් දැන්වීමක් යොදා දෙරණ ලාංජනය සඳහන් කර තිබුණි. මේ වීඩියෝව ඊයේ සවස සිට සියලුම මාධ්‍ය ජාලා වල සංසරණය විය. එහිදී ඇතමුන් ජඩ මාධ්‍ය ලෙස දෙරණ හඳුන්වා දී තිබුණි.

කෙසේ නමුදු මෙම වීඩියෝව සම්බන්ධයෙන් මේ වන විට දෙරණ ආයතනය නිවේදනයක් නිකුත් කර ඇත. ඒ එම වීඩියෝවට සම්බන්ධ වෑන් රථය දෙරණ ආයතනයේ එකක් නොවන බවය.

මෙම වාහනය දෙරණ ආයතනයට කුලී පදනම මත ලබා ගත් එකක් බවත් එහි රියදුරු හා අනෙක් පුද්ගලයා දෙරණ ආයතනයට කිසිදු සම්බන්ධයක් නැති අයෙකු බවද ඔවුන් කියා සිටියි.

මෙය සිදුවී ඇත්තේ ඊයේ පස්වරුවේ දෙරණ ආයතනයට සම්බන්ධ රාජකාරී ගමනක අතරතුර හෝ මාධ්‍ය ආවරණ කටයුත්තකදී නොවන බවද ඔවුන් වැඩිදුරටත් එහි කියා ඇත.

කෙසේ නමුදු කුලී පදනම මත ලබා ගත්තත් ඒ කුලී කාලිය තුල වෑන් රථයේ වගකීම ඇත්‌තේ ආයතනයටය. එමෙන්ම මාධ්‍ය ආවරණ කටයුත්තක් හෝ ආයතනයකට සම්බන්ධ ගමනක් ගොස් නැති බව දෙරණ ආයතනය පැවසුවත් මොවුන් ගමන් කර ඇත්තේ මාධ්‍ය පුවරුව ප්‍රදර්ශනය කරමිනි. එබැවින් මෙහි වගකීමෙන් ආයතනයට මිදිය නොහැකිය.

Social Sharing
නවතම