විශ්‍රාම වැටුප ඉල්ලා ජනාධිපතිට ටෙලි මේල් ලක්ෂයක්!

රාජ්‍ය සේවයේ 2016 -01-01 සිට 2019 -12-31 දක්වා කාලය තුල විශ්‍රාමික ගිය පිරිස බොහෝය. නමුත් මොවුන්ට හිමි විශ්‍රාමික වැටුප හිමි වුයේ නැත. ඒ 2016 – 2019 විශ්‍රාමිකයින්ට 2020-01-01 දින සිට ගෙවිය යුතුව තිබූ විශ්‍රාම වැටුප ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සභාපතිත්වය දරණ අමාත්‍ය මණ්ඩලය විසින්  2020-01-02 දින රැස් වී අත්හිටුවීමට තීරණය කිරීම නිසාය.

ඒ අනුව රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 35/2019(I) හා 2020-01-20 දිනැති චක්‍රලේඛය නිකුත් කරමින් 2020-01-01 සිට ගෙවිය යුතු විශ්‍රාම වැටුප මේ වන විට අත්හිටුවා ඇත.

මේ නිසා මේ කාලය තුල විශ්‍රාම ගිය සියලු දෙනා එක්ව තම අයිතිවාසිකම් ලබා ගැනීමට විශ්‍රාමිකයින්ගේ හිමිකම් සුරැකීමේ ජාතික සංවිධානය පිහිටුවා ගන්නා ලදි. මෙම  වසරකට අධික කාලයක් විවිධ ක්‍රියාමාර්ග ගත්තද සාධනීය පිලිතුරක් ලැබුණේ නැත.

මේ වන විට විශ්‍රාම වැටුප අහිමි විශ්‍රාමිකයින් එක්ලක්ෂ තිස්පන්දහසක් පමණ දෙනෙකු සිටියි.

ඒ  සියලු දෙනාම ”අහිමි කරන ලද විශ්‍රාම වැටුප කරුණාකර ලබා දෙන්න.” යනුවෙන් අද (15)  දින දිවයින පුරා තැපැල් කාර්යාල මගින්  ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට  ටෙලි මේල් පණිවිඩයක් යැවීමට විශ්‍රාමිකයින්ගේ හිමිකම් සුරැකීමේ ජාතික සංවිධානයේ විධායක සභාව පියවර ගෙන ඇත.

ඒ අනුව එහි කොළඹ දිස්ත්‍රික්කයේ ටෙලිමේල් පණිවුඩ යැවීම අද ( 15)  කොළඹ ඇතුලූ සියලූ දිස්ත්‍රික්ක පුරා තැපැල් කාර්යාල වලදී සිදුකළ බව  විශ්‍රාමිකයින්ගේ හිමිකම් සුරැකීමේ ජාතික සංවිධානයේ ජාතික සංවිධායක මහින්ද ජයසිංහ මහතා අයිතියට පැවසුවේය.

-ශානි-

Social Sharing
නවතම