මහර සිද්ධියේ විමර්ශනයට පත් කර ඇති කමිටු වල ස්වාධීනත්වය ආරක්ෂා කරන්න – නීතිඥ දුලාන් දසනායක

මහර බන්ධනාගාරයේ සිද්ධිය සම්බන්ධයෙන් පත් කරනු ලබන කමිටු වලට ස්වාධීන කොමිෂන් සභා නියෝජනය කරමින් එහි නියෝජිතයෙක් පත් කරන ලෙසත් එම  කමිටු වලට ස්වාධීනත්වය ආරක්ෂා වන පරිදි කටයුතු කිරීමට ඉඩදෙන ලෙසත්  රජයෙන් ඉල්ලා සිටින බව නීතිඥ දුලාන් දසනායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසුයේ නිතී විරෝධී ඝාතනයන්ට එරෙහි වෙමු, මහර බන්ධනාගාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කරමු යන මැයෙන් 72 වන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන් පසුගිය දහ වන දින සවස කොළඹ ජානකී හෝටලයේ පැවති මාධ්‍ය හමුවකදීය. මෙම මාධ්‍ය හමුව වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුව විසින් සංවිධානය කර තිබුණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ නීතිඥ දුලාන් දසනායක මහතා මෙසේද පැවසුවේය.

මහර බන්ධනාගාරයේ සිද්ධිය සම්බන්ධව විමර්ශනය කිරීමට අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා විසින් පංච පුද්ගල කමිටුවක් පත් කළා. ඒ කමිටුවේ අතුරු වාර්තාවක් 09 දා  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.  එහි සඳහන් වුයේ දැනට මහර බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් සංඛ්‍යාව 2782 ක් වන අතර එය බන්ධනාගාරයේ රැඳවිය හැකි ප්‍රමාණයට වඩා තුන් ගුණයකින් වැඩි බවයි. මෙය මහරට පමණක් නොව සෙසු බන්ධනාගාර වලටත් පොදු තත්ත්වයක්.

කොවිඩ් වසංගතය බන්ධනාගාර වලට ඇතුල් වුණහම රටේ විවිධ සිවිල් සංවිධාන රජයෙන් ඉල්ලිම් කළා බන්ධනාගාර තදබදය අවම කර ගන්න කටයුතු කරන්න කියලා. කොවිඩ් වෛරසයට කලින් පවා මේ බන්ධනාගාර වල තදබදය අවම කරන්න, ඔවුන්ගේ සෞඛ්‍ය පහසුකම් සුරකින්න කියා විවිධ සිවිල් සංවිධාන ඉල්ලිම් කර තිබුණා.

ඒ වගේම බන්ධනාගාර වල පුනරුත්ථාපන ක්‍රියාවලිය නිසි ආකාරයකින් ක්‍රියාත්මක කරන්න කියාත් ඔවුන් අවධාරණය කළා. නමුත් මේ කිසිදු දෙයකට ප්‍රමාණවත් මැදිහත් වීමක් කිසිදු රජයක් ඉටු කළේ නැහැ.

PCR පරීක්ෂණ කරන්න, සුදුසු ආහාර පාන ලබා දෙන්න කියන ඉල්ලිම් එදා මහර බන්ධනාගාර රැඳවියන්ගෙන් ඉදිරිපත් කෙරුණු අතර ඒවා සාධාරණ ඉල්ලිම් බවද ඒ අතුරු වාර්තාවේ සඳහන් කර තිබුණා. ඒ ඉල්ලිම් වලට රජය ප්‍රතිචාර දක්වපු විදිහ අපි සංවිධානයක් ලෙස අනුමත කරන්නේ නැහැ.

මේ සිදුවිමෙන් පසුව බන්ධනාගාරයට නව අමාත්‍යවරයෙක් පත් වුණා. ඒ ලොහාන් රත්වත්තේ මහතා. ඔහු ඉතාම වගකිම් රහිතව පාර්ලිමේන්තුවේදී  ප්‍රකාශ කළේ කිසිදු රැඳවියෙකු වෙඩි තැබිමෙන් මිය ගියේ නැහැ කියලා. ඒක පශ්චාත් මරණ පරීක්ෂණ වලින් ඔප්පු වුණා කිව්වා. ඒක ඉතාම වැරදි සහගත ප්‍රකාශයක්. ඒ වෙනකොට කිසිදු පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කරලා තිබුණේ නැහැ. එහි නඩු විභාහගය වැලිසර මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ විභාග වෙමින් තිබුණේ.

ඒ වගේම රජය උත්සහ කලේ කොවිඩ් නිරෝධායන ක්‍රියාවලියට මුවා වෙලා මේ රැඳවියන්ගේ ආදාහන කටයුතු කඩිනමින් ඉටු කිරීමට. ආදාහනයක් සිදු කළ විට බොහෝ සත්‍ය යටපත් කළ හැකි වෙනවා. අපරාධයක් සිදුව පුද්ගලයෙකු මිය ගියහොත් ඒ වින්දිතයගේ සිරුර ආදාහනය කරන්න අධිකරණයකින් අවසර නැහැ.

ඒ සත්‍ය යටපත් වෙන නිසා.  පහුගිය කාලේ සිදු වූ ඇතැම් අපරාධ වලට අදාලව එවැනි මෘත දේහ නැවත ගොඩගැනීම් අප අත්දැකලා තියෙනවා. එවිට අලුත් වාර්තා නිකුත් වී පරීක්ෂණ වෙනත් දිසාවන්ට යොමු වෙලා සත්‍ය හෙලිදරව් වී තිබෙනවා.

නමුත් වැලිසර මහේස්ත්‍රාත්වරයා අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරමින්, අධිකරණය පිලිබඳ විශ්වාසය තවත් දැඩි කරමින් සුවිශේෂි තිරණ ගණනාවක් ලබා දී තියෙනවා. ඔහු නීතිපතිවරයාට කරුණු දක්වන්නට අවසථාව ලබා දීලා මේ සම්බන්ධව තීරණයක් ගන්න විශේෂඥ කණ්ඩායමක් පත් කරලා තියෙනවා.

නීතිපතිවරයාගෙත්, පංච පුද්ගල අතුරු කමිටු වාර්තාවේත් පැහැදිලිව සදහන් කරලා තියෙනවා බන්ධනාගාරයේ වෙඩි තැබීමක් සිදුව ඇති බවට. ඒ වගේම කිසිදු රැඳවියෙකු අත වෙඩි තැබීමට යොදා ගන්නා ආයුධයක් තිබුණේ නැති බවට. එවන් පසුබිමක බන්ධනාගාර  අමාත්‍යවරයාගේ ප්‍රකාශය මේ පරීක්ෂණ කොයි දිසාවට කරගෙන යනවාද කියා සැකයක් මතු වෙනවා.

මේ නිසා අප රජයට බල කරමින් ඉල්ලා සිටින්නේ මේ පත් කරන කමිටු වලට ස්වාධීනත්වය ආරක්ෂා වන පරිදි කටයුතු කිරීමට ඉඩ දෙන්න, ස්වාධීන කොමිෂන් සභා වල සාමාජිකයින් මෙහි නියෝජිතයින් ලෙස පත් කරන්න කියලා.

Social Sharing
නවතම