මිය ගිය පුතුගේ උණුසුම සොයන නූතන කීසා ගෝතමිය ඇයද?

යුද්ධ හමුදා පුහුණුවේ යෙදී සිටියදී වැවක ගිලීමෙන් මිය ගිය බව පවසන පුහුණු යුද්ධ හමුදා සෙබළාගේ මරණය සම්බන්ධයෙන් වසර දෙකකට ආසන්න කාලයක් ගත වී ඇතත් තවමත් සාධාරණයක් ඉටු වී නොමැති බව එම සෙබළාගේ මව පවසයි.

බේරුවල, ගල්හේන පදිංචිව සිටින චන්ද්‍රා විජේවර්ධන මහත්මියටත් සිටි එකම පිරිමි දරුවා වන්නේ දොන් උරේෂ් කවිෂාන් ජයසිංහය. 2000 වසරේ උපන් ඔහුට බාල තව සහෝදරියක්ද සිටියි. උපන් දා සිටම ජිවිතයේ කටුක බව අත්විඳි කවිෂාන්ගේ එකම හීනය වුයේ හමුදාවට බැඳීමය.

හමුදාවට ගොස් හොඳ නිවසක් තනා ගැනීම හා නැගණියට අහොඳ අධ්‍යාපනයක් ලබා දීම මෙන්ම අනන්ත අප්‍රමාණ දුක්විඳින සිය දෙමාපියන්ට හොඳ අනාගතයක් සකසා දීම ඔහුගේ ඒකායන බලාපොරොත්තු විය.

උරේෂ් කවිෂාන් 2019 ජනවාරි 16 වෙනිදා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ, 11 වැනි බලඇණියේ  විජයබාහු රෙජිමේන්තුවට (බෝයගනේ) ඇතුලත් වුයේ ඒ අනුවය. පසුව 2019 මාර්තු 12 දා පුත්තලම සිංහවිල්ලුවත්ත පුහුණු කඳවුරට ඇතුලත්ව ඇත. එහි පුහුණුව ලබමින් සිටියදි 2019 ජුනි 12 වෙනි දින උරේෂ් නිවාඩු ලබා නිවසට පැමිණ ජංගල් කෝස් එකකට යාමට තිබෙන බව පවසා බඩු ලැයිස්තුවක්ද රැගෙන නැවත 2019-06-17 වෙනි දින කඳවුරට ගොස් තිබේ.

එදින කඳවුරට ගිය ඔහු සිය නිවසට දන්වා ඇත්තේ 06-23 වනතුරු කථා කිරීමට ඉඩ නොලැබෙන බවත් ජංගම දුරකථන කඳවුරෙන් ලබා ගන්නා බවත්ය.

ජුනි 23 දා උදා වුවද උරේෂ් නිවසට කථා කර තිබුනේ නැත. මේ අතර පුත්තලම කඳවුරෙන් උරේෂ් නිවසට දුරකථන ඇමතුමක් ලබා දී පවසා ඇත්තේ උරේෂ් තවත් පුද්ගලයෙකු සමඟ කඳවුරෙන් පැන ගොස් ඇති බවය.

නමුත් උරේෂ්ගේ දෙමාපියන් එය පිළිගත්තේ නැත. මන්ද උරේෂ් එසේ නොකරන බව සක්සුද්දක් සේ ඔවුන් දැන සිටි නිසාය.

පසුව නැවත කඳවුරෙන් දන්වා ඇත්තේ පුත්තලම කලපුවේ (පෙරිය වැවේ) ඇති බවත් පැමිණ බලන ලෙසත්ය. ඒ අනුව උරේෂ්ගේ දෙමාපියන් කඳවුරට ගොස් ඇත. එහිදී දෙමාපියන්ගෙන් වෙන් වෙන්ව හමුදා පොලිසිය විසින් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු පුත්තලම රෝහලට ගොස් මෘත ශරිරය සිය පුතණුවන්ගේ බව හඳුනාගෙන ඇත. දැඩි ලෙස විකෘති වී තිබු මෘත ශරිරය උරේෂ්ගේ බව හඳුනාගෙන ඇත්තේ ඔහුගේ දකුණු අතේ තිබු කැළලකින් බව උරේෂ්ගේ මව වන චන්ද්‍රා මහත්මිය පවසයි.

ඒ අවස්ථාවේ කඳවුරෙන් උරේෂ්ගේ දෙමාපියන්ට පවසා ඇත්තේ මොහු දිය නෑමට ගොස් ආපසු එන විට බාල්දිය හා බෙඩ් ෂිට් එක අමතක වීම නිසා යළි ගිය බවත් ඉන්පසු සිදු වූ දෙයක් නොදන්නා බවත්ය.

මේ අතර උරේෂ්ගේ දේහයේ මරණ පරික්ෂණ කටයුතු සිදු කර හේතුව ප්‍රකාශ නොකර ශරීරයේ වැඩිදුර කොටස් රජයේ රස පරික්ෂක වෙත යැවීමට කටයුතු කර ඇත.

මෙහිදී උරේෂ්ගේ දෙමාපියන් පවසා ඇත්තේ දදරුවාගේ මරණය සැක බවය. නමුත් ඒ පිලිබඳ කිසිවෙකුත් අවධානය යොමු කර තිබුණේ නැත. දේහය නිදහස් කිරීමෙන් පසු 2019 ජුනි 27 දා පුර්ණ හමුදා ගෞරව සහිතව අවමංගල්‍ය කටයුතු සිදු කර තිබේ.

යුද්ධ හමුදාවෙන් උරේෂ්ගේ දෙමාපියන්ට පවසා තිබුණේ මෙය දියේ ගිලීමෙන් සිදු වු මරණයක් බවය. නමුත් ඔවුන් එය විශ්වාස කරන්නේ නැත. මන්ද කලපුවේ පා වෙමින් තිබු මෘත ශරිරයේ තිබී ඇත්තේ යට ඇඳුම පමණය. එහි තිබු හමුදා අංකය වෙනත් අයෙකුගේ අංකයක් බවත්, මෘත ශරීරය පළමුව පොලිස් නිලධාරීන් විසින් පරික්ෂා කර මෙය හමුදා සෙබලෙකුගේ යැයි පැවසු විට එය හමුදා නිලධාරීන් විසින් ප්‍රතික්ෂේප කිරීමත්, කිසිදු විනය ගැටලුවක් නොමැති දරුවා පැන ගිය බවට චෝදනා කිරීමත්  ආදී කරුණු කිහිපයක් නිසා මෙම මරණය සැක බව චන්ද්‍රා මහත්මිය පවසයි.

මේ වන විට පුත්තලම මහධිකරණයේ තවමත් මේ සම්බන්ධ නඩුවක් විභාග වෙමින් ඇත්තේය. මෙය දෙමාපියන්ට දැරිය නොහැකි බර පැනකි. එමෙන්ම ඔවුන් සිය දරුවාගේ මරණයේ සැබෑ තතු දැනගැනීමේ උවමනාවෙන් පෙලෙන්නේය.

ඔවුන් මේ වන විට මේ සම්බන්ධව ජනාධිපතිවරයාට, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර ඇත. ඔවුන් තම පුතුගේ මරණයට සාධාරණයක් ඉටු වෙතැයි මඟ බලා සිටින්නේ තවමත් හැඬු කඳුළින් යුතුවය.

-ශානි-

Social Sharing
නවතම විශේෂාංග