රසායනික පොහොර තහනමෙන් තේ කර්මාන්තය අර්බුදයට!

මෙරට රසායනික පොහොර, කෘමිනාශක හා වල් නාශක භාවිතය හා ආනයනය තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට පියවර ගෙන ඇත. ඔහු පවසන්නේ ගත් පියවර ආපස්සට නොගෙන රසායනික පොහොර භාවිතය මුළුමනින්ම ඉවත් කළ ලෝකයේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කිරීමේ අභියෝගය භාර ගන්නා බවය.

ශ්‍රී ලංකාව රාසයනික පොහොර ආනයන සඳහා 2019 දී ඩොලර් මිලියන් 221ක් වැය කළේය. තෙල් මිල වැඩිවීම සමඟ එම වියදම ඩොලර් මිලියන 300 – 400 අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇත. රසායනික පොහොර, වල් නාශක සහ පලිබෝධ නාශක සඳහා අතිවිශාල වියදමක් කළද කෘෂිකාර්මික නිෂ්පාදනයෙහි ගුණාත්මක වර්ධනයක් සිදුව නැති බව ජනාධිපතිවරයාගේ අදහසය.

නමුත් පහත රට වතු කම්කරුවන්ගේ සංගම පෙන්වා දෙන්නේ රසායනික පොහොර භාවිතය කඩිනමින් තහනමට ලක් වුවහොත් මෙරට තේ කර්මාන්තය අර්බුදයට ලක් වන බවය.

ඔවුන් පෙන්වා දෙන්නේ තේ පැළය අවධියේ සිටම රසායනික පොහොර යෙදීමට වැවිලිකරුවන් හුරු වී ඇති බවය. ගුණාත්මක තේ දල්ලක් ලබා ගැනීමට නම් රසායනික පොහොර අවශ්‍ය බවත් ක්ෂණිකව රසායනික පොහොර භාවිතය තහනම් කළහොත් වැවිලි කර්මාන්තය මඟින් ලබා ගන්නා ජාතික ආදායම සම්පුර්ණයෙන්ම බිඳ වැටෙන බවද පහත රට වතු කම්කරුවන්ගේ සංගමයේ සභාපති රුවන් ගාල්ලගේ මහතා අවධාරණය කර සිටියි.

මෙයින් වැවිලිකරුවන්  මෙන්ම තේ වගාව ආශ්‍රිතව යෙදී සිටින සියලු දෙනා  අසීරුතාවයට පත් වන බව පෙන්වා දෙන ඔහු කියා සිටින්නේ ක්ෂණිකව මෙම තීරණ නොගන්නා ලෙසය.

-ශානි-

Social Sharing
නවතම