කොවිඩ් එන්නත් මධ්‍යස්ථාන කැඳ හැලියක්, ඇත්ත තත්ත්වය මෙන්න!

කොවිඩ් මර්ධන එන්නත මෙරටට ලැබුණේ ප්‍රථම වරට ජනවාරි මාසයේ 28 වෙනිදාය. ඒ එක්සත් රාජධානියේ  ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් (AstraZeneca COVISHELD) කොවිඩ් මර්දන එන්නතය. ඉන්දියාවේ, මුම්බායිහි ‘සීරම් ඉන්ස්ටිටියුට්’ ආයතනය නිෂ්පාදනය කර තිබෙන මෙම එන්නතෙන් ලක්ෂ පහක් ප්‍රදානයක් ලෙස මෙරටට හිමි විය.

බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහල් හයක සෞඛ්‍ය සේවකයන්ට එන්නත ලබා දෙමින් මෙම එන්නත්කරණ වැඩසටහන ජනවාරි 29 වෙනි දින ආරම්භ වු අතර  ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමතිනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය යටතේ මේ කටයුතු පවරා තිබුණි.

කැඳ හැලියක්

මෙම එන්නත්කරණයේ පළමු අදියර ලෙස සඳහන් කර තිබුණේ සෞඛ්‍ය සේවකයින් හා ආරක්ෂක අංශය. ඉන්පසු මහජනතාවට ලබා දෙන බව ප්‍රකාශ කර තිබුණි.

නමුත් මේ වන විට ඒ සියලු එන්නත්කරණ කටයුතු ක්‍රියාදාමය අවුල් ජාලාවක් වී ඇති බව දකින්නට ඇත. මේ බව පහුගියදා අමාත්‍ය සුර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියද පිළිගෙන තිබුණාය.

මේ කොවිෂිල්ඩ් එන්නත ලංකාවට ගෙන ඒමට ප්‍රථම පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා පවසා තිබුණේ කොවිඩ් එන්නත ලබා ගැනීම ස්වාධීන තීරණයක් වන අතර එය  බලෙන් එන්නත් නොකරණ බවය. මන්ද මෙම එන්නත ලබා ගැනීමට ප්‍රථම කැමැත්ත ප්‍රකාශ කර අත්සන් කළ යුතුව ඇත.

මේ වන විට කොවිඩ් එන්නත් ක්‍රියාවලිය VIP වීමට පටන් ගැනීම නිසා රටේ මහජනතාව පත්ව ඇත්තේ නොසන්සුන්තාවයකටය. හැඳුනුම්කම් මත, ඥාතීත්වය මත, බලයට, මුදලට මේ එන්නත දැන් අලෙවි වෙමින් ඇති අයුරු දැකිය හැකිය.

මෙයට හොඳම උදාහරණය වන්නේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසුරිය මහතා එන්නත ලබා ගැනීමය. මෙය සමාජ මාධ්‍ය ජාලා වල දැඩි ලෙස විවේචනයට ලක් වු පුවතක් බවට පත් වී තිබුණි. මේ වන විට ඒ සම්බන්ධයෙන් ඔහුට එන්නත ලබා දීමට කටයුතු කළ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාද ඉවත් කර ඇති බව වාර්තා වේ.

මේ එන්නත් කිරීමේ වැඩපිළිවෙල ගැන රජයේ නිවේදන විටින් විට වෙනස් වී ඇති අතර, සමහර ස්ථානවල සිදුවූ අක්‍රමිකතාවලට එරෙහිව විරෝධතා ද පැවැත්විණි.

කොවිෂිල්ඩ් එන්නත මේ වන විට කොළඹ, ගම්පහ ආදි දිස්ත්‍රික්ක වල ලබා දීම සිදු කරනු ලබයි. නමුත් ඒවාද අවුල් ජාලයකි. මීට ආසන්නතම සිදුවීම වාර්තා වුයේ නාරාහේන්පිට  ප්‍රදේශයේ එන්නත් ලබා දුන් ස්ථානයක ඇති වු නොසන්සුන්කාරීත්වයය.

මේ මධ්‍යස්ථානවලදී  ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා/ සංවර්ධන නිලධාරිවරයා විසින් සිය වසමේ ඡන්ද නාම ලේඛනය පරික්ෂා කිරිමෙන් අනතුරුව එන්නත ලබා ගැනීමට නියමිත පුද්ගලයාට කැමැත්ත ප්‍රකාශ කිරිමේ පෝරමයක් ලබා දෙනු ලබයි.

ඉන්පසු එය පුරවාගෙන මධ්‍යස්ථානයේ සිටින වෛද්‍යවරයා හමුවට ගොස් ඔහුගේ අනුමැතිය ලබා ගැනිමෙන් පසු එන්නත ලබා ගත හැකිය. මේ එන්නත් කටයුතු සිදු කරන්නේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් හා හෙදියන්ය.

නමුත් මේ ඇතැම් එන්නත් මධ්‍යස්ථාන වල සියලු කටයුතු දේශපාලනීකරණය වී ඇති අයුරු දැකිය හැකිය.

පෝරම නැහැ!

ඇතැම් එන්නත් මධ්‍යස්ථාන වලට යන විට කැමැත්ත ප්‍රකාශ කිරිමේ පෝරම නැත. ප්‍රදේශයේ සිටින දේශපාලන ආධාරකරුවන් සන්තකයේ මේ පෝරම තබාගෙන ඔවුන්ගේ හිතවතුන් පැමිණි විට ඒවා ලබා දෙයි. මධ්‍යස්ථානයට යන පුද්ගලයාට පෝරම නැතත් ගෙදර සිටින පුද්ගලයාට ඒ අනුව පෝරම හිමිය. මේ නිසා ඇතැම් මධ්‍යස්ථාන වල එන්නත ලබා ගැනීමට ගිය අය විසින් මේ පෝරම මුදලට පිටපත් කරගෙන නැවත මධ්‍යස්ථානයට පැමිණිමට සිදු විය.

මීටරේ නැහැ

මේ ප්‍රාදේශීය එන්නත් මධ්‍යස්ථාන වල කිසිදු මීටරයක පරතරයක් එකිනෙකා අතර නැත. මීටරෙන් සිටින්නට කීවාද ඔවුන්ට ඇත්තේ එන්නත විද ගැනීමේ කලබලය පමණක්ය. එමෙන්මඇතැම් මධ්‍යස්ථාන වල ඉඩකඩ ප්‍රමාණවත්ව නොපැවතීමද මෙයට හේතු වී තිබුණි. එක ගොඩේ පෝලිම් රැසකින් යාමට සිදුව ඇත.

පොලිස් නිලධාරින් පැමිණයද ඔවුන්ද කා බී, කා සමඟ හෝ කථාවක් කරගෙන සිටිනවා විනා මේ මීටරේ ගැන තැකීමක් නැත.

පැය ගණනක ප්‍රමාදය

එන්නත් මධ්‍යස්ථානයේ වෛද්‍ය පරික්ෂාවෙන් පසු එන්නත් පෝලීම් ඇත්තේ වයස් සීමාවන් අනුව වෙන් කරය. ඒ පෝලිම් වලදි පුද්ගලයාව ලියාපදිංචි කර කොවිඩ් එන්නත් කාඩ්පත ලබා දෙනු ලබන්නේ අදාල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් විසින්ය. නමුත් ඒ පුමාණය ප්‍රමාණවත් වන්නේ නැත.

මෙහිදී ඔවුන්ට ලිවීමට සටහන් රැසක් ඇති නිසා එම ස්ථාන වල ප්‍රමාද වීම් බොහෝය. මේ නිසා ඇතැම් විට ස්වේච්ඡා සේවකයින් යොදවාගෙන කටයුතු කිරීමට මධ්‍යස්ථාන බලධාරීන්‌ට සිදුව ඇත.

නමුත් මේ අතර ප්‍රදේශයේ මුදල් යහමින් ඇති, බලයක් ඇති පුද්ගලයින් පැමිණි වහාම ඔවුන්ට කිසිදු පෝලිමකින් තොරව විනාඩි කිහිපයකින් මේ එන්නත ලබා ගෙන පිටව යා හැකිය.

මේ තත්ත්වය දිගින් දිගටම පැවතියහොත් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට මේ එන්නත් ක්‍රියාවලිය පවත්වාගෙන යාම අසීරු වනු ඇත. ඒ නිසා අදාල බලධාරින්ගේ කඩිනම් අවධානයක් මෙයට යොමු විය යුතුය.

-ශානි-

Social Sharing
නවතම